Thursday, September 19, 2013

"ඔරු ඩාන්ස් "


මීට අවුරුදු ගානකට කලින් අවුරුදු දවස් වල අපේ යාළුවො කට්ටිය අමුතු විදිහේ අවුරුදු පාර්ටි එකක් දාන්න කල්පනා කළා ..ඒ තමා පිටි අරන් ගිහින් හද පානේ කමතක් මැද ලිපක් එහෙම හදල රොටි හදන්න ...ඉතින් අපේ කාන්ඩේ අය ෂෝර්ට් එහෙම ගහගෙන රොටි හදන්න අවශ්‍ය බඩු භාණ්ඩත් අරන් හැන්දෑ කොරේ කමත පැත්තට ගියා ...

එදා යාන්තමට වගේ වැහි බීරුම ඉතින් කමත හරියට කිට්ටු වෙද්දීම වගේ පොද වැස්සක් කඩන් පාත් උනා ...ඉතින් අපේ කට්ටිය ඒ ලගම තිබුණු ගෙදරට ගොඩ වැදුනා ..ඒ ගෙදර හිටිය කට්ටිය අපේ අවශ්‍යතාව තේරුම් අරන් රොටි හදන වැඩේ ඒ ගෙදරම කරගන්න අවශ්‍ය කටයුතු සකස් කරලා දුන්නා ..ඉතින් අපේ අයත් දැන් පිටි ලොකු භාජනයකට දාලා කලවම් කරනවා ..ලුණු එකතු කරනවා ...වැඩ කෝටියයි ...කට්ට සම්බෝලයකුත් ඔය අත‍රේ හැදෙනවා ...ඉතින් ටික වෙලාවකට පස්සේ සාජ්ජේ පටන් ගත්තා ..
හෙමින් හෙමින් කිව්ව සින්දු ටිකක් වේගවත් උනා ..ඔය අතරේ එක පාරම ඒ ගෙදර මහා බලවතා කඩා පාත් උනා ...
"හා හා ළමයිනේ හෙමින් හෙමින් අර රාළහාමිලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා ඉස්සරහ ...සද්දේ අඩුවෙන් ...අනික ඔය සද්දෙට මන් වැඩිය කැමති නැ..එහෙනම් හෙමින් ඈ" කියල යන්න ගියා ..

ඊට පස්සේ අපි ටිකක් හෙමින් සින්දු කිව්වා ..ඒත් අයෙත් සද්දේ උච්ච වෙන්න ගත්තා .. එක පාරම මහා බලවතා යක්ශාරුඩ වෙලා අපි හිටපු තැනට ඇවිත් ..."මේ සිංහල තේරෙන් නැද්ද ...අර රාළහාමිලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා ඉස්සරහ ...ඔය මගුල නවත්තනවද ....නැද්ද ..."කියල ඉස්තෝප්පුව පැත්තට ගියා ...අපි ඔක්කොම තක්බීර් උනා ...අපි ආපහු එන්න හැදුවත් ගෙදර අය කීවා ..
"ඔය අපේ තාත්තගේ හැටි ඕවා ගණන් ගන්න එපා ..හදපු රොටි එහෙම කාල යන්න "කියල ...අපි කට්ටියම රොටි එහෙම කාල අහවර උනා විතරයි ...මෙන්න ආයෙත් අර ගෙදර පියා හෙවත් මහා බලවතා අපි ගාවට ආවා ..
'කෝ දැන් මේ කොල්ලෝ ...අය්යෝ බන් උඹල සින්දුවක් වත් කියන් නැද්ද..උඹලා කොල්ලෝ නේද ...මේ අවුරුදු කාලේ නේද ..මේ ඔය කැසට් එක දාන්න ...කෝ දැන් අපේ ගෙදර එකා ...අර ජෝතිගේ පීස් එක ගේන්න ..." දැන් කැසට් එක බෙරිහන් දෙන්න පටන් ගත්ත ...දැන් කට්ටියම හිටපු තැන් වලින් නැගිටලා කකුල් එහා මෙහා කරමින් නටන්න පටන් ගත්තා .සාජ්ජේ සුපිරියටම නැගල යනවා ..එක එක නැටුම් රාශියයි ...සමහරු වලවල් හාරන ඩාන්ස් ...සමහරු එක්සසයිස් ඩාන්ස් ...සමහරු පූස් කුරුමානම් ඩාන්ස් සමහරු කල්පනා ඩාන්ස් හිනා වේවි කට්ටිය නටනවා ...ඔය අතරේ තමා හොදම ඩාන්ස් එක පටන් ගත්තේ අර පියතුමා ..

එයා ඇදන් හිටියේ සුදු පාට බැනියමක් සහ සුදු පාට සරමක් ...
"ඔව්වද බන් උඹලගේ ඩාන්ස් ..මෙන්න බලපල්ලා මේවා තමා ඩාන්ස් කියන්නේ" කියල ..
               සරම දෙකට නවාගෙන ආරුක්කුවක් වගේ එක කොනක් දකුණු අතින් ඉස්සරහට ඇදගෙන අනිත් කොන වම අතින් පිටිපස්සට ඇදගෙන එක කකුලක් ඉස්සරහටත් අනිත් කකුල පිටිපස්සටත් තබාගෙන සින්දුවේ තාලයට එක තැන ඉඳගෙන වගේම ගමනේ යමින් නැටුමක් පටන් ගත්ත නොවැ..
"මෙව්වට තමයි බන් කියන්නේ ඔරු ඩාන්ස් කියල ..උඹලත් දාහල්ලා ඔරු ඩාන්ස් ..රාළහාමිලා දෙන්නෙක් නෙවේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ආවත් උඹල සින්දු කියල ඔරු පැදපල්ලා ..මේ ගෙදර අනිත් පැත්ත පෙරලලා පලයල්ලා "කියමින් සිංහ ගර්ජනා හඬ නැගුවා ... ටික වෙලාවකින් අපේ කට්ටියත් එකින් එකා ඔරු ඩාන්ස් දාන්න පටන් ගත්ත ...
දැන් ගෙදර ඉස්සරහ ඔක්කොම ඔරු පදිනවා ...පාරු පදිනවා ...අඩුවකට තිබ්බේ ගගක් මුහුදක් අඩු එක විතරයි ..

පාන්දර දෙකට විතර අවුරුදු සාජ්ජේ ඉවර වෙලා අපේ කට්ටිය එන්න ආවා ..දවස් දෙකකට විතර පස්සේ එස් එම එස් පණිවිඩයක් නෙවේ ...අසල්වැසි පණිවිඩයක් ඇවිත් තිබුනා අපේ කට්ටියටම අර මහ බලවතාගෙන් ....
"එදා අපේ ගෙදරට ඇවිත් රොටි එහෙම කාල ගෙදර තිබ්බ ඔක්කොම සරම් ටික උන් උස්සන් ගිහින් .. ගෙනත් දුන් නැත්නම් රාළහාමිලා දෙන්නට කියනවා " කියල ....

Saturday, May 11, 2013

"නිව් ස්ටාර්"


නිව් ස්ටාර් කියල ක්‍රිකට් ටීම් එකක් තිබුනා අපේ ගමේ ..

ඉතින් ඒ පිලේ ආරම්භක වේග පන්දු යවන්නා උනේ මේ ලියුම් කරු ..මට මතකයි මන් පන්දුව අතට ගත්තම මන් ගැන දන්නා ගොඩක් අයගේ කකුල් මැඩ්ලින්  ගහනවා ..ප්‍රතිවාදීන්ට ලොකු තර්ජනාන්ගුලියක් මගේ පන්දු යැවීම .කොහොමත් මුල් පන්දු ඕවර හය හත වෙද්දී ප්‍රතිවාදීන් සියල්ලම දැවී ගොස් අහවර වෙනවා ..හිතා ගැනීමට නොහැකි මටම ආවේනික යෝකර් පන්දුව වැටෙද්දී පිතිකරුවන්  අන්ද මන්ද වුනු හැටි තාම මතකයි ...ඉඳ හිටෙක පන්දුව දග කවන්නත් ශුරයෙක් ඒ දවස් වල ...මට හොඳට මතකයි එක තරගයකදී මුල් ඉනිමේ වේග පන්දු යවල කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේ දග පන්දු යවල කඩුලු 6ක් දවාගත්ත අවස්තාව ..ඒ දවස් වල මට ක්‍රිකට් උණක් තිබුනා  ..

සිකුරාදාට  ක්‍රීඩා පත්තරේ අනිවාර්යෙන් ගන්නවා ..ක්‍රීඩා පත්තරේ ලිපි ලිව්ව ක්‍රිස්ටෝපර් රණසිංහ ..සදුන් ප්‍රේමතිලක වගේ අයත් මතකයි ..ඒ වගේම පත්තරේ ලකුණු සටහන් ..ක්‍රීඩකයන්ගේ වග තුග ..පින්තුර අලවපු ලොකු පොතක් තිබුනා මන් ගාව ..
මගේ ප්‍රියතම ක්‍රීඩකයා උනේ අරවින්ද ද සිල්වා ..
මට මතකයි මුල්ම සජීව තරගයක් බලන්න නුවර අස්ගිරි ග්‍රවුන්ඩ් එකට තාත්තගේ අතේ එල්ලිලා ගිය හැටි ..එදා තිබුනේ ශ්‍රී ලංකා පකිස්තාන් ටෙස්ට් තරගයක් ..අස්ගිරිය ක්‍රිකට් පිටිය පුරා සිදත් වෙත්තමුණි ..අමල් සිල්වා ..අරවින්ද ද සිල්වා..අර්ජුන රණතුංග .. දුලිප් මෙන්ඩිස් රෝයි ඩයස් ..අසන්තද මැල් ..රුමේෂ් රත්නායක ..රවී රත්නායක ආදී ක්‍රීඩකයන් විසිරිලා පන්දු රැකීමේ යෙදිලා හිටියා ..එදා දවස පුරාම  වගේ මට දකින්න පුළුවන් උනේ පකිස්තානය වෙනුවෙන් පන්දුවට පහර දුන් මුදාසර් නසාර් සහ සලීම් මලික් විතරයි ..
එදා තමා මන් මුලින්ම අයිස් චොක් එකක රස වින්දේ ...හවස එද්දී තාත්තා නුවර මාර්කට් එකෙන් පුංචි ටෙලෙස්කෝප්  එකක් අරන් දුන්නා ..
ඒ දවස් වල ටෙස්ට් තරග උනත් මන් රූපවාහිනියෙන් බලන්න  මට තිබුනේ  පුදුම ආසාවක් ..සාජා තරගයකදී පකිස්තානයේ ජාවෙඩ් මියාන්ඩා ඩ් ඉන්දියාවේ චේතාන් ශර්මාගේ අන්තිම ඔවරේ අන් තිම පන්දුවට හයේ පහරක් සමගින්  තරගය අවසන් කල අපුරුව.. ඒ තරගය අනුන්ගේ ගෙදරකින් බැලුවේ එළියේ ජනේලෙකින් එල්ලිලා පොඩි සිදුරකින් ..ගුවන් විදුලියේ හැමදාම හවස පහට විකාශනය උණු ක්‍රීඩා සංග්‍රහය නොවරදාවම ඇහුවා,, වැඩසටහන ඉදිරිපත් කලේ අශෝක කරුණානායක ..ඒ කාලේ දුටුව සුවිශේස ක්‍රීඩකයන් අතර බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි ..ගෝර්ඩන් ග්‍රිනිජ්කොදෙව් දුපත් හි ..ගෝර්ඩන් ග්‍රිනිජ් ,ඩෙස්මන් හේන්ස් ,රිචි රිචඩ්සන් ,,විවියන් රිචඩ්ස් ..ඔගස් ලොගි ..ජෙෆ් ඩුජෝන් කාල් හුපර් මැල්කම් මාර්ෂල් ,ජොඑල් ගානර් මයිකල්  හෝල්ඩින් .රොජර් හාපර් ..නවසිලන්තේ මාර්ටින් ක්‍රෝ ජෙෆ් ක්‍රෝ රිචඩ් හැඩ්ලි ඇන්ඩ්රු ජෝන්ස් ,ඉයන් ස්මිත් ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝර්ඩර් මාර්ක් වෝ ස්ටීව් වෝ ඩීන් ජෝන්ස් ක්‍රෙග් මැක්ඩ්ර්මට් ජෙෆ් මාර්ෂ් ඩේවිඩ් බුන් ..එංගලන්තේ ඩේවිඩ් ගවර් මයික් ගැටින් ඉයන් බොතම් පාකිස්තානේ වසීම් අක්රම් ඉම්රාන් ඛාන් ..ජාවෙඩ් මියන්ඩා ඩ් ..සලීම් මලික් රමිස් රාජා .ඉන්දියාවේ සුනිල් ගවස්කාර් ක්‍රිෂ්නමචාරී ශ්‍රී කාන්ත් දිලිප් වෙන්සාකර් කපිල් දේව් මොහොමඩ් අසරුදීන් මොහින්දර් අමරනාත් රවී ශාස්ත්‍රී ..දකුණු අප්‍රිකාවේ හැන්සි ක්‍රොන්යේ ..කෙප්ලර් වෙසල්ස් ඇලන් ඩොනල්ඩ් ,(ක්‍රිශ් ගේල් ..සහිඩ් අෆ්රිඩි වැනි කස කරුවන් ගැන පසුව ලියමි )දුටු සුන්රතම දසුන් අතර වෙස්ට් ඉන්ඩිස් වල කර්ට්ලි ඇම්බ්‍රෝස් කඩුල්ලක් දවාගත්තම ඔහුටම අවේනිකව  යෙදෙන නර්තනය ..මොරටුවේ තරගයකදී ජාවෙඩ් මියන්දඩ් ලකුණු නොලබා දැවී ගිය විට ප්‍රේක්ෂකයෙක් හූ  කියද්දී ඔහු පසුපස බැට් එකත් රැගෙන පහර දීමට පැන්නී ම ..1996 ලෝක කුසලාන ජයග්‍රහණයත් ..සර් විවියන් රිචඩ්ස් කවදාවත් හිස් ආවරණ පැළදුවේ නැති කෙනෙක් ,,, ස්ටීව් වෝ ට ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂෙන් වගේඅම ලිබරල් පක්සෙන් චන්දෙට එන්න කිව්වත් කාරුණිකව එය ප්‍රතිෂේප කිරීම ..දකුණු අප්‍රිකාවේ පාවෙන පුළුන් රොද ජොන්ටි රෝඩ්ස් ගේ ගුවනේ පන්දු රැකීම..ලොව විශිෂ්ටතම පිතිකරුවා දොන් බ්‍රඩ්මන් සාමාන්‍ය 99.94.තව එක ලකුණක් ගත්තනම් සාමාන්‍ය 100ක් ..අන්තිම තරගයේ අවසන් පන්දුවේ ලකුණක් රැස් කිරීමට නොහැකි වූවේ  හිතේ දුකත් එක්කම ඇස් වල කදුලක් නිසා පන්දුව හරියට නොපෙනීම නිසා බව ඔහු ප්‍රකාශ කර තිබුනා ..

මා දුටු ලොව දක්ෂතම පිතිකරු වමත් බ්‍රයන් ලාරා ..දකුණත් සචින් තෙන්ඩුල්කාර් ..වේග පන්දු යවන්නන් වසීම් අක්රම් කර්ට්නි වොල්ෂ් ,,ග්ලෙන් මැ ක්ග්රත් ..දග පන්දු යවන්නන් මුත්තය්යා මුරලිධරන් ..ෂේන් වෝන් ...ලස්සනම පිතිකරුවන් සිදත් වෙත්තමුණි රාහුල්  ඩ්‍රාවිඩ්  ..කඩුලු අතර වේගවත්ම දිව යන්නා සනත් ජයසූරිය ..පන්දු රකින්නන් ජොන්ටි රෝඩ්ස් උපුල් චන්දන ප්‍රියතම විනිසුරුවන් ඩිකී බර්ඩ් බිලි බොර්ඩන් ,,සිංහල විස්තර විචාරය නම් ප්‍රේමසර ඈපාසිංහ පාලිත පෙරේරා  ඉංග්‍රීසි විචාරය නම් ටෝනි ග්‍රෙග් රමිෂ් රාජා රවී ශාස්ත්‍රී .
..හොඳම ක්‍රීඩාංගන ලෝර්ඩ්ස් සහ සිඩ්නි ...ලස්සනම ක්‍රීඩා පිටි දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නිව් ලෑන්ඩ් ..ඉන්දියාවේ ධර්ම ශාලා ..නවසීලන්තයේ ක්වීන්ස් ටවුන්  එංගන්තයේ ඩර්හැම් රිවර් සයිඩ් බටහිර ඉන්දීය කොදෙව් හි සෙන්ට් වින්සන්ට්  ,,,

Sunday, April 14, 2013

"අවුරුදු කුමාරි "



බක්මහ උදාවත් එක්ක බොහොමයක් ගම්  දනව් පුරා අවුරුදු උත්සව දහස් ගණන් සංවිදානය වෙනවා ..
අපිත් සංවිදායක මණ්ඩලයක් විදිහට එකතු පාදා වෙලා ජයටම අවුරුදු උත්සවයක් ලක ලෑස්ති කරා ..මූල්‍යමය
කටයුතු සිද්ද උනේ අපේ ගමේ උදවියගෙන්ම එකතු කරලා ..අලුත් අවුරුද්ද උදාවෙලා බක්මහේ දහසය වැනිදාවක අපේ
අවුරුදු උත්සවය පැවැත් උනා ..මැරතන් තරග ..කොට්ට පොර ...කඹ ඇඳීම ..කනා මුට්ටිය බිඳීම ..යෝඝට් කැවීම ..බැලුම් ජෝඩු තරග..රබන් ගැසීම ..පොල් ගෑමේ වගේම පොල් අතු විවීමේ තරගත් හරි අපුරු විදිහට පැ වත් උනා ..මන් ඉතින් පුරුදු විදිහටම යකඩ කටට පන පෙවීමේ කර්තවයේ යෙදිලා උන්නා ..හැන්දෑව වෙද්දී උණුසුම් තරග රාශියක් පැවතෙමින් තිබුනා ..සංගීත් පුටු තරගයෙන් පස්සේ සිඟිති අවුරුදු කුමාරිය තේරීමේ තරගය ...වයස අවුරුදු 11 න් පහල ගමේ පුංචි දියණිවරුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා අවුරුදු උත්සවය තව තවත් කල එලි කළා ..ටික වෙලාවකට පස්සේ මන් නැවත යකඩ කට දෙදරුම් කවමින් "මී ලඟට පැවැත්වෙන්නේ අවරුදු කුමාරිය තේරීමේ තරගය ..ඒ සඳහා වයස අවුරුදු 14න් ඉහල ඕනෑම කෙනෙකුට සහබාගි විය හැකිය ..සහබාගි වීමට කැමති සියලුම දෙනා තම තමන්ගේ නම් සංවිදායක මණ්ඩලේ ප්‍රදාන කුටියට පැමිණ බාරදෙන්න .."ඒ එක්කම මෙන්න ගමේ කෙනෙක් කඩන් පාත් උනේ   නැද්ද අපේ  කුටියට.. මහා සිංහ ගර්ජානාවෙන් "එහෙම කොහොමද ඒක අසාදරනයි මගේ කෙල්ලට අවුරුදු 13 යි ..මගේ කෙල්ලටත් මොනවා හරි කුමාරියකට දාන්න  ඕනේ කිව්වා ...මාත් අවුරුදු උත්සවේට සල්ලි දුන්නා "..දැන් ඉතින් එකම ගාල ගෝට්ටියයි ..අපේ අය  ඊට පස්සේ කතා බස් කරලා 11න්  ඉහල ඕනෑම කෙනෙකුට අවුරුදු කුමාරිය තරගයට සහබාගි විය හැකි වෙන විදිහට තරගයේ වයස් කාණ්ඩය වෙනස් කරා ..දැන් ඉතින් අවුරුදු කුමාරියෝ පෝලිමේ ඇවිත් නම් බාර දෙනවා .. ගර්ජනා කරපු ඇත්තත් එයාගේ දුවගේ නම් දුන්නා ..දැන් ඉතින් ලස්සන ගැනු ළමයි බුරුතු පිටින් රොද බැඳිලා ...පංච කල්යාණියෝ අවුරුදු උත්සවේ හැඩ වැඩ  කිරීමට සුදානමින් උන්නා ..ආයෙත් අර සිංහයා සිංහ සෙ ය්යාවෙන් අපේ කුටියට ඇවිත්  .."මේ හැබැයි මගේ කෙල්ලට මොකක් හරි පෙලේස් එකක් නැති උනොත් ඒකත් බලාගන්න පුළුවන් ..මන් රුපියල් පන්සියකුත් දුන්නා .."කියල තර්ජන ගර්ජන කරමින් කෑ මොර දෙන්න පටන් ගත්තා.. ඉතින් අපේ අයගෙත් වැසිලා තිබුණු සිංහ හම් වලට පන ඇවිත් "අය්යා මේ ඔයාගේ රුපියල් පන්සීය දෙන්නම් ..අපේ වැඩේ කරගන්න දීල මෙතනින් යනවද යන්න "
කියල කිව්වා ..ඊට පස්සේ මනුස්සයා ගේ සිංහ සලකුණු කෙමෙන් වියැකිලා .."මල්ලි කෙල්ලට පොඩි සැනසිලි තෑග්ගකවත් ...."..එත් අපි සැනසිලි තෑගි සකස් කරලා තිබුනේ නැති නිසා .."අය්යා  අපි සැනසිලි තෑගි සකස් කරලා නෑ ..තුන් දෙනෙකුට විතරයි තෑගි තියෙන්නේ " කිව්වා .."මනුස්සයට තද වෙච්ච පාර"සැනසිලි තෑග්ගක්වත් නැත්නම් මොන මගුලකටද " කියල  අර ළමයත් ඇදන් යන්න යද්දී ගමේ කීප දෙනෙක් එකතු වෙලා කට්ටිය සාම සාකච්චා පවත් වලා ප්‍රශ්නය සමතයකට පත් කරා ..අවසානයේ අවුරුදු  උත්සවේ අවුරුදු කුමාරියන් හැමෝටම සැනසිලි තෑගි දෙන්න සුදානම් කරා ..හොඳ වෙලාවට අවුරුදු 13 එක ළමය යි  හිටියේ ..දහයක් විතර හිටියනම් සිංහයෝ දහ  දෙනෙක් ඇවිත් අවුරුදු උත්සවේ උඩු යටි කුරු කරන්න තිබුනා .
 
 

Sunday, March 31, 2013

"පිරිසිදු චේතනා ගෙන දේ වාසනා "


මේ වැකිය ගොඩක් වෙලාවට ත්‍රී වීලර් වල ලියල තියෙනවා දකිද්දී මගේ මතකේ උසස් පෙළ කරපු කාලෙට නිතැතින්ම ඇදිල යනවා.ඒ දවස් වල අපේ කාන්ඩේ හතර දෙනෙක් එකතුවෙලා රහස් අට කම්මන්ත්‍රනයක යෙදුනා ..ඒ උසස් පෙළ ඉහලින්ම සමර්ථ වීමේ උපක්ක්‍රම මූලයන් යෝජනා සම්මත කරගැනීමට ..අපි එදා කතා කල දේවල් දන්නේ අපි හතර දෙනා ඇරුනු කොට අපි ට සෙවන දුන්න රත් මැයි මල් ගහ විතරයි ..ඉතින් මුලින්ම කතා කලේ අපි කාන්ඩේ උසස් පෙලට කලින් තිබුණු අන්තිම නිවාඩු වාරේ එක තැනකට එකතු වෙලා පාඩම් කරන්න .ගෙවල් වලින් පිට නිදහස් තැනක සාකච්චා කරමින් පාඩම් කරන්න .. තැනක් හොයාගන්න එක මුල්ම ප්‍රශ්නේ ..අපි එක්ක හිටපු එක යාලුවෙක් කිව්වා ,,,එක තැනක් තියෙන බව ..ඒකෙ විස්තරේ දන්නේ නුවර ප්‍රදාන ආපන ශාලාවක එක්කෙනෙක් බව ..ඉතින් අපි ඔර්ලෝසු කණුවට ටිකක් එහා තියෙන හොටෙල් එකට ගියා ..ඒ තැන ගැන විස්තරේ අහන්න ..ඔහු හමු උනාම කිව්වේ ...හෙට එන්න කියල ...ඊලග දවසේ යද්දී ..ඒ කෙනා වැඩ කරපු තැන එක්ක ප්‍රශ්නයක් දාගෙන උදෙන්ම පිටවෙලා ගිහින් තිබුනා ..ඊට පස්සේ අපි සිංහල හෝටලයෙන් තේ බිව්වේ බිඳුණු බලාපොරොත්තු එක්ක ..අපි හතර දෙනාගෙම ඒක මතික කැමැත්තෙන් හොඳ තැනක් තෝරගත්ත ..නුවර ටවුන් එකේ ඉඳන්ම පයින් යන දුර ..ඉතින් ඊට පස්සේ දවසේ අපි හතර දෙනා උදෙන්ම එතනට එකතු පාදා උනා ..හරිම නිස්කලංකයි ,,අපි හතර දෙනා ලොකු මාර ගහක් යට හෙවනක දැන් ඉතින් පැය දෙක තුනක් පාඩම් කරා ..අපේ තනියට තව ගොඩක් අය හිටියා වටේටම ..හැබැයි නිසලව ...උපත විපත ගහපු කොත් යට ...පැය කීපයකට පස්සේ ආරක්ෂක අංශයෙන් ඇවිත් කිව්වා එතන පාඩම් කරන්න ඉඩ දෙන්න බැරි බව ..ඉතින් මක් කරන්නද ...දුකෙන් උනත් මහයියාව පොදු සුසාන භූමියට සමු දුන්නා ..ඊලග සතියේ තැනක් අපිට ලැබුනා ..අපේ හිතවතෙකුගේ ගමේ තැනකට අපි එක හෙලා කැමති උනා ..ඒ ජම්බුගහපිටියේ අලුත්ගම අත් හැරල දාල තිබුණු පොඩි බේකරියක් ..ඉතින් අපි එතනට රැස් වුනා ...ඒ තැන අලුතෙන්ම පිරිසිදු කරලා ගත යුතුව තිබුනා ...ඉතින් දවස් දෙක තුනක්ම සුද්ද බුද්ද කරන්න උනා අපිට ..අවසානේ පිළිවෙලක් ලස්සනක් හැඩයක් තියෙන තැනක් බවට ඒ තැන පරිවර්තනය කරා ..පුංචි මේසයක් උඩට ඉටි රෙද්දක් එහෙම දාලා ලස්සන මල් පෝච්චියක් තිබ්බා ..ඇන්තූරියම් මලින් සරසලා .දැන් පාඩම් කරන්න සියල්ල සූදානම් ..අපේ යාලුවෙක් කිව්වා ..බිත්තියේ කොලයක හොඳ ආදර්ශ පාඪයක් ලියන්න ඕනේ කියල ..ඉතින් ඒ වැඩේ එයාටම බාර දුන්නා ..මොකද එයාලගේ ගෙවල් ඒ ගමේම නිසා.. එයා කිව්වා එදාම හවස ඇවිත් කොලේක ලියල ගහන්නම් කියල ..කාල වෙලාව උදේ 9 සිට හවස 4 වෙනකම්.. ඊට පස්සේ ඒ ඒ විෂයන් ගැන හොඳ පරිචයක් තියෙන එක එක්කෙනා ඒ යම් යම් පාඩම් ගැන දෙසුම් තියන්නත් අවසන් පැය යොදාගත්තා .. .හරිම නිහඩ වට පිටාවක් තිබුනේ ඒ අවට ..කිසිම හැල හොල්මනක් නෑ ...(හොල්මන් දකින්නත් තිබුනා මුලින් තැන පාඩම් කරානම් )..
ඉදිරියෙන්ම තිබුනේ කිරි වැදිච්ච වෙල් යායක් ..පැත්තකින් පුංචි කමතක් තිබුනා ..කොනක නිල් කැටේට
වතුර පිරිලා තිබුණු ළිදක් පිහිටලා තිබුනා ...අපි ඒ දවස් ටිකේම උදේ ඒ ලිඳෙන් නෑවා ..ඒ සීතල තවමත් දැනෙනවා වගේ ..ඒ වතුර ඒ තරමටම සීතලයි ..ඊලග සතියේ සදුදා උදෙන්ම උසස් පෙළ විජයග්ග්‍රහණයේ මූලික පාඩම් වැඩ කටයුතු ආරම්භ කරන අදිටනින් අපි වෙන්ව ගියා ...සදුදා එළබුනා ...ප්‍රවාහන සේවයේ මන්දගාමී බව නිසා මන් යද්දී උදේ දහය විතර උනා ..පරණ ටියුට්ස් පොත් උස්සන් හති දාගෙන යද්දී ..අපේ කවුරුත් එතන හිටියේ නෑ ..ළිද පැත්ත බැලුවත් ..ළිං බැම්මේ හිටියේ කුරුල්ලෙක් දෙන්නෙක් විතරයි ..මන් ඒ ගමේ අපේ සාමාජික යාළුවගේ ගෙදර ගියා ..එහෙ යද්දී විස්තරේ දැනගත්තා ,,අපි පාඩම් කරන්න හදා ගත්ත තැනේ අයිතිකරු ආපහු එතන වැඩ ආරම්භ කරන්න ඕනේ කියල ඒ තැන වහල භාන්ඩ වගයක් ඇතුලට දාල යන්න ගිහින් ..අන්තිමේ අපේ ඒ බලාපොරොත්තුවත් කඩ වෙලා ගියා ..මන් හිස් අතින්ම එන්න අවා ..ඒ එන අතර මගදී අපි පාඩම් කරන්න හිටපු තැන අයෙත් මගේ නෙත ගැටුනා ..ලොකු දුකක් දැනුනා ..ඉස්සරහ ජනේලේ වීදුරුවේ පැත්තක් ගැලවිලා තිබුනේ ..මන් එතනට ගිහින් නිකමට වගේ ඇතුල බැලුවා ..සිකුරාදා සකස් කරපු මේසේ උඩ මල් පෝච්චියේ ඇන්තුරියම් මල් ඒ විදිහටම තිබුනා ..එතනටම ඉහළින් ලොකු කොලයක ලියල තිබුනා "පිරිසිදු චේතනා ගෙන දේවි වාසනා " කියල ..මන් එන්න ආවා ..කාලයක් ගත උනා ..අපි හතර දෙනාටම සරසවි වරම් ලැබුනේ නෑ..අද වෙද්දී එක යාලුවෙක් මහා සයුරේ එහා මෙහා යන යාත්‍රිකයෙක් ..තව කෙනෙක් අපිට එළිය දෙන මණ්ඩලේ ක සේවය කරනවා ..ආදර්ශ පාඪය ලිව්ව කෙනා පිගන් සම්බන්ද දංකොටුවේ ආයතනයක...තර්ක ශාස්ත්‍රය ගැන දෙසුම් දෙන්න හිටපු කෙනා අහසින්.. ජපානේ කිට්ටුව රටකට ගිහින් ..

Sunday, March 17, 2013

"ආච්චිගේ ටැලිපෝන් "


කාලෙකට ඉස්සර මන් මුලින්ම කුවෛට් ඉඳල ලංකාවට ගිය අලුත මගේ අතේ පුංචි මොබයිල් එකක් තිබුනා ..nokia වර්ගයේ ..
ඒ දවස් වල ජංගම දුරකථන බහුලව නැති කාලේ ...තිබුනත් එකක් දෙකක් ..ඒ තිබුනෙත් ටිකක් විතර ලොකු ප්‍රමානෙ ජංගම දුරකථන..දවසක් උදේ වරුවක අපේ යාළුවො සෙට් එක ...පාරෙන් උඩ තිබුණු අපේ යාලුවෙක්ගෙ ගෙදරට වෙලා පුංචි පහේ කතා බහක යෙදීලා හිටියා ..ඔය කතාව යන අතරේ පාරේ අපි දන්නා කියන හිතවත් යාලුවෙක්ගේ ආච්චි කෙනෙක් උඩහ පැත්තට එනවා දැක්ක ..ඒ ආච්චි කොහොමත් අනිත් අයට හරියනවට කැමති නැ ..දියුණු වෙනවට කැමති නෑ ..ඉර්ශියාවෙන් කුහක කමින් පිරිච්ච තමන්ගේ ලොකු කම් නිතර නිතර අනිත් අය එක්ක කබල් ගාන කෙනෙක් ..ඒ දවස් වල ඒ ආච්චි ගේ පුතාටත් ජංගම දුරකතනයක් තිබුනා ..ඉතින් ඔය ආච්චි දැක්ක විතරයි අපේ යාළුවො කට්ටිය මොකද කරේ ..මගේ මොබයිල් එක අරන් පාරේ යන ආච්චිට පේන්න කනේ තියාගෙන කතා කරන්න පටන් ගත්තා ..දැන් ආච්චි ගමනත් නතර කරලා බලනවා මොකක්ද යකඩෝ මේ අරුම පුදුම පුංචි පහේ භාණ්ඩේ කියල ...කොහොම හරි තේරුම් අරන්ද කොහෙද යන්න ගියා ..ඒත් ආපහු හැරී හැරී බලන්නත් අමතක කරේ නෑ ..එදා උදේ ආච්චි ගෙදර ගිහින් කිව්ව දේ ඒ ගෙවල් ළඟ ඉන්න යාලුවෙක් අපි එක්ක කිව්වා .....

"හක් අන්න අර කොල්ලෝ සැට් එකේ උන් ටැලිෆෝන් එකක් තියාගෙන හිටියේ ..බලන්ට වැඩේ... ....ඒක මොන ටැලිපෝන් එකක්ද ..මන් හොදට දැක්කනේ මේන් මෙච්චර ඇති පෙත්ත වගේ ..ඒ වගේද අපේ පුතාගේ ටැලිෆෝන් එක ..කොච්චර ලොකුද ..? ..ගඩොල් බාගයක් වගේ ..ලයිටුත් පත්තුවෙනවා ...හෆ්ෆා ....එව්වනේ ටැලිෆෝන් කියන්නේ ..අතටවත් අහු වෙන් නැති ඔය පෙත්ත වගේ ටැලිෆෝන් එක ඔය කොහෙන් හරි පේමන්ට් එකකින්වත් ගන්න ඇති .."

Sunday, March 10, 2013

"මාරි කාමරේ "


එක දවසක් මන් අනුරාධපුරේ කැබිතිගොල්ලෑව පැත්තේ යාලුවෙක් එක්ක මල ගෙදරක ගියා ..බොහොම දුප්පත් පහේ
අහිංසක මිනිසුන් ජිවත් වෙච්ච ගෙදරක් ඒ ..දවල් එකොළහට විතර අපි මල ගෙදරට ඇතුල් උනා ...අපිට ඉස්සරහින් තව වයසක එක්කෙනෙක් බිස්කට් පෙට්ටියකුත් අරන් ඇතුල් උනා ..ඇතුලට ගිහින් මෘත දේහය ලග හිටිය ගැහැණු කෙනාට වැදලා අවසන් ගවුරව දැක්කුවා ...ඊට පස්සේ බිස්කට් පැකට් එකත් අරන් ඒ ලගම තිබ්බ කාමරේක ට හැරුන ගමන් අර ගැහැණු කෙනා අඩන ගමන්ම "ඔය කාමරේ නෙවේ මාරි තියන්නේඒ ඒ ඒ ............ ඉස්සරහ කාමරේ මාරි තියන්නේඒ ඒ ඒ... ඒ ඒ "කියල කෑ ගහන්න පටන් ගත්ත "..ඊට පස්සේ අර මනුස්සයත් එයට ප්‍රති උත්තර ලෙස මාරි බිස්කට් පෙට්ටිය ඉස්සරහ කාමරේ තියල ...එළියේ මිදුලට ගිහින් වාඩි උනා ...මුලින් මුලින් අපිට ඒ අඩන ක්‍රමය අමුතු අමුතු ඇඩුම් ක්‍රමයක් උනත් පස්සේ ඒක සාමාන්‍යය දෙයක් උනා ...ඉතින් අපිත් එළියේ තිබුණු පුටු වල වාඩි වෙලා ශෝක බරිත මුහුණෙන් බලා හිටියා ...ගෙදර හැමෝම වගේ අඩනවා ...අඩමින් විස්තරත් කියනවා ...ටික වෙලාවකින් අර ඇතුලේ හිටිය ගැහැණු කෙනා
අපි ගාවට ඇවිල්ලා ..."අය්යෝඕ ඕ ඕ .. මේ කට්ටියගේ දිවත් එක්ක ගිලෙන්න වගේ නේද ...ඔය කුස්සිය පැත්තේ ඉන්න අය කොහෙද දැන් .................අය්යෝ මේ ළමයින්ට කෝඩියල් වත් දෙන්නේ නැද්ද ...මගේ බුදු අම්මේඒ ඒ ඒ ..."...ඔන්න ඒත් එක්කම කෝඩියල් අරන් පොඩි දැරිවියෝ ටිකක් අපි ගාවට ආවා ...අයෙත් අර ගැහැණු කෙනා ..."උඹලට මුල ඉඳන් කියන්න ඕනෙද අය්යෝ ඔඕ ....බිස්කට් නැද්ද දෙන්නේ මේ ළමයින්ට මගේ සත්තෝ ...." කියල කෑ ගැහුවා ..එත් එක්කම කෙනෙක් දුවන් ගිහින් බිස්කට් බන්දේසියක් අරන් ආවා ..ඔය සිදුවීම් අතරේ ටිකෙන් ටික මද්දහනත් පහු උනා ...දවල් කෑම වෙලාව ..අසල් වැසි ගෙදරකින් මරණ ගෙදරට දහවල් කෑම අරන් ආවා ...ඉතින් අපිටත් ආරාදනා ලැබුනා ..දවල් කෑමට ...හාල් මැස්සෝ හොදි ...ගෝවා මැල්ලුමක් එක්ක බත් කන්න ...මොහොතකින් කීප දෙනෙක් ඈ ත කඩුල්ලෙන් ඇතුල් උනා මල ගෙදරට ..එතන හිටිය ඒ ගෙදර පිරිමි කෙනෙක් බත් එක පැත්තකින් තියලා "මේ දුක නැති හින්ද නෙවේ බත් කන්නේඒ ඒ ඒ .. බඩ ගිනි හින්ද බත් කන්නේ ඩිංගිරි අය්යේ ඒ ඒ ඒ .............."කියල කෑ ගහන්න පටන් ගත්තා නොවැ ...ඉතින් සෙමින් සෙමින් මල හිරු ගිලෙන වෙලාවක මල ගෙදරට අපිත් සමු දුන්නා ..කඩුල්ලෙන් පිට වෙලා එන ගමන් ගේ ඇතුල් පැත්තෙන් අර ගැහැණු හඬ අයෙත් යාන්තමින් ඇහුනා .."මගේ ලොකු දුවේ ඒ ඒ .... උඹ ඔය මල් මල් ගවුම ඇදන් ඉන්නේ පෙරේදා ඉදන් නේද අ අ අ ...ඕක ගලවල දාල වෙන එකක් ඇද ගනින්කෝ බුදු සංතෝ .............."ඉතින් අමතක නොවෙන මරණ ඇඩුම් වැකි කීපයකුත් මතකේ තියන් අපි එන්න ආවා ..අදටත් මාරි බිස්කට් එකක් ඇහැ ගැහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ...එදා මල ගෙදර මාරි කාමරේ කතාව .

Sunday, March 3, 2013

"ඇටිපොළ සුදු කොඩිය "


ඉස්කෝලේ ඇරිලා හවස් වරුවේ එද්දී මමයි මගේ හොඳම යාළුවයි එන්නේ එකට .. අපේ ගෙවල් වලට යන පාරේ කුඹුක් ගස් දෙකක් තියෙනවා ..ඒ කුබුක් ගස් දෙක අතරින් ඇතම ඇත ලොකු කන්දක් පේනවා ...අලි හොඩක් වගේ තියෙන ඒ කන්දට කියන්නේ ඇටිපොල කන්ද කියල ..අපි හැමදාම එන්නේ ඔය කන්ද දිහා බලාගෙන ..දවසක් අපි කතා උනා ඒ කන්දට නැගල සුදු කොඩියක් ගහල එන්න ...ඊට පස්සේ හැමදාම කුඹුක් ගස් ගාවින් යද්දී ඒ දිහා බලාගෙන අපි ගැහුව කොඩිය නේද කියල ආඩම්බර වෙන්න .එතකොට අපි හිටියේ හත වසරේ .ඉතින් සතියකට විතර පස්සේ අපේ තව යාළුවො පස් දෙනෙකුත් මගේ හොඳම යාළුවගේ පියතුමත් තව අපි දන්නා සර් කෙනෙකුත් ...ඇතුළු අපි නව දෙනෙක් ඇටිපොල කන්ද තරණය සදහා ගමන පිටත් උනා ...ලොකු උස සුදු කොඩියක් ද..තව කෑම බීම එහෙමත් සකසා ගෙන උදේ පාන්දර පහට පිටත් උනා .ගමන පයින්ම අපේ නඩය ඉදිරියටම ගමන් කළා ..ලදු කැලැව ඔස්සේ හිමිදිරියේම ගමන ගොඩක් දුෂ්කර උනා ..අපිට අපිවවත් නොපෙනෙන තරමට මිදුම තදේටම තිබුණා ..රූස්ස ගස් මැදින් ටිකෙන් ටික කන්දේ මැද හරියට අපි ලගා උනා ..අපි අරන් ගිය කෝල්මන්ස් බීම වතුර එහෙමත් ටිකෙන් ටික අඩු වෙමින් පැවතුනා ...කන්ද මුදුන හරියට යද්දී ගමනෙ දුෂ්කරත්වයේ උපරිමයට ලං වෙලා තිබුනා ..ඉලුක් ගස් ...වලින් අපේ කකුල් අත් දැඩි ලෙස සීරීම් වලට ලක්වෙලා තිබුනා ...දැඩි දහිර්යෙන් ආත්ම ශක්තියෙන් අපි ගමන අහවර කරා ..බලාපොරොත්තුවේ ආලෝක රැස් දහරාවන් අපි හැමෝගෙම නෙත් වල ගලමින් තිබුනා ..කන්දේ මුදුනේ විශාල ලොකු කළු ගලක් තිබුනා ..එක පැත්තකින් මහා විශාලෙට සෙවන දෙන නුග ගසක් තිබුනා .ගමන අහවර වෙද්දී දහවල් 12.30..කන්දේ මුදුනට නැගල වට පිටාව දකිද්දී තමා තේරුනේ අපි කොඩිය ගහන්න සැලසුම් කරපු ඇටිපොළ කන්ද තවත් කදු පහක් ඇතින් බව ..හිත පුදුමාකාර විදිහට කඩා වැටුනා ..එත් කුමක් කරන්නද ,,,අයෙත් දවසක ඇටිපොල කන්ද තරණය කරමු යන බලාපොරොත්තුවෙන් හිත සනසවගත්තා .අපි නැගල තිබුනේ මුවගල කියන කන්දට ,,,ඇටිපොල කන්ද තරම් විශාල කන්දක් නොවුනත් මුවගල කන්දත් හරිම අපුරු වට පිටාවකින් යුතු කන්දක් ..අපි දවල් ආහාරය විදිහට ගත්තේ සීනි සම්බෝල මැදට කවලම් කරපු පාන් පෙති ..පැයක් විතර විවේක සුවයෙන් ඉඳල ආපහු එන්න පිටත් උනා ...මගදී වදුරෝ රැලක් ඇවිත් අපේ ගමන සුන්දර කරා ...කන්ද නැග්ග පැත්තේ තිබුණු රූස්ස ගස් වෙනුවට කන්ද බහින පැත්ත තිබුනේ පියකරු ලොකු කැලෑ මල් ...දම් පාට නම් නොදන්න මල් යායක් අතරමගදී අපේ නෙත් මත ගැටුනා ..කන්දේ පල්ලම ටිකක් ලිස්සන සුළුයි ...අපේ කන්දට එහා අනිත් උස කන්දේ පටු පාරක පුංචි ලොරි බාගයක් යනවා ...පෙරලෙන්න ඔන්න මෙන්න වගේ ...අපි ඒ දිහා බලාගෙන ...කුමකින් කුමක් වෙයිද කියල විමසිලිමත් උනා ?අපි එක්ක ගියපු මගේ හිතවත් මිත්‍රයා සමරේ සින්දුවක් කිව්වා .."පෙරලියන් බර කරත්තේ පෙරලියන් ...පෙරලියන් බර කරත්තේ " කියනවත් එක්කම ලොරිය නෙවේ මෙන්න සමරේ පෙරලිලා අඩි ගානක් පහලට ඇදිල ගියා ...හිනා වරුසා එක්ක සමරේ යාන්තම් තේ ගහක එල්ලිලා ගොඩ ආවා ...මුවගල කන්ද තරණය එතනින් අහවර උනා ,....ඊට පස්සේ මමයි මගේ යාළුවයි කුඹුක් ගස් ගාවින් යද්දී ඇටිපොළ කන්ද දිහා වැඩිය බැලුවේ නෑ ..බැලුවත් නොදැක්ක වගේ යනවා .. ..අදටත් කුඹුක් ගස් දෙකත් තියෙනවා ...ඇටිපොළ කන්දත් ඇතින් පේනවා ..ඒත් අද වෙන තුරුත් ඇටිපොල කන්දේ කොඩියක් ලෙල දුන්නේ නෑ ..