Sunday, February 10, 2013

"මද්දුම බණ්ඩාර" .....


පන්සලේ එක එක කාල වල එක එක නාට්ටිය පෙන්වනවා ..එදා පෙන්නුවේ වීර මද්දුම බණ්ඩාර කතාව ..හැන්දෑ කොරේ ඉර ගල වැටුනට පස්සේ ඉතින් නාට්ටිය රග දැක්වීම පටන් ගත්ත ,,නාට්ටියේ අවසන් හරිය ..වෙදිකාවේ ලොකු බණ්ඩාර ..මද්දුම බණ්ඩාර ,,වගේම වධකයත් පැත්තකට වෙලා ඉන්නවා .. ..නාට්ටියේ උද්වේගකර අවසථාව..බලන් ඉන්න අයගේ නෙතගට කදුළු උනන අවස්ථාව ..මද්දුම බණ්ඩාරගේ වීරත්වය පෙන්වන අවස්ථාව ...වධකයා කඩුවත් අරන් ලොකු බණ්ඩාරගේ ගෙල සිඳින්න උත්සහ කරන අවස්ථාව ...ලොකු බණ්ඩාර බියෙන් හැකිලෙද්දී කුඩා මද්දුම බණ්ඩාර ...ඉදිරියට ඇවිත් අර වීර ප්‍රකාශය කරනවා .."අය්යන්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වමි" කියල ...සුළු මොහොතකින් වධකයා මද්දුම බණ්ඩාරගේ ගෙල සිදිනවා නට්ටියානු කාර ආකාරයෙන් ..බලන් ඉන්න අය මීයට පිම්භාක් වගේ ඇහි පිය නොගහ බලන් ඉද්දි එක පාරම ප්‍රේ ක්ෂකාගාරයේ මැ ද හරියෙන් පොඩි කොලුවෙක් කෑ ගහන්න පටන් ගත්ත නොවැ ..
"ආන් අරු අපේ පොඩි අය්යාගේ බෙල්ල කැපුවෝ" ,,කියල..කට්ටිය දැන් කලබලවෙලා .. හිනා ගෝට්ටියයි .. පොඩි එකා මර ලතෝනි දෙනවා....දැන් ඉතින් නා ට්ටියත් අතර මග නතර කරා..පස්සේ ඒ පොඩි ළමයාගේ අම්මයි බලන් ඉන්න අ යයි කිව්වා.."ඒ ක මේ බොරුවට කරන්නේ ...ඇත්තට නෙවේ" කියල...කොහොම හරි පොඩි ළමයාගේ ඇඩියාව නතර උනා ..නාට්ටිය අපහු කරගෙන ගියා ..මද්දුම බණ්ඩාරගේ මරණින් පස්සේ ලොකු බණ්ඩාරගේ ගෙල සිදින වා ,,,අයෙමත් අර පොඩි එකා කෑ ගැහුවේ නැද්ද .."අන්න අරු ඒ පාර අපේ ලොකු අයියටත් බෙල්ලට කෙටුවෝ " කියල ...ඉතින් වේදිකාව තිරේ වැහිලා මද්දුම බණ්ඩාර එතැනින්ම අහවර උනා ..මද්දුම බන්ඩා රටයි..ලොකු බණ්ඩාරටයි හිටියේ එකම පවුලේ අය්යා මලෝ දෙන්නෙක් .. .අන්තිමට වීර මද්දුම බණ්ඩාර හිනා බණ්ඩාර උනා ...

"ඉස්පන්චි පුංචි "


මේ ඉස්පැනිෂ් සින්දුවක් නම් නෙවේ ....
දවසක් අපේ නෑ දෑ වෙන කට්ටියකගේ හදිසි මල ගෙදරක් වෙලා තිබුන..අපේ නෑදෑ වෙන අය්යා කෙනෙක් පිට රටකදී හදිසියේ ජිවිතෙන් සමු අරන් තිබුනා ..ඉතින් අපි කට්ටියම මෘත දේහය ගේන්න කටුනායක ගියා ...අපි පිරිමි පාර්ශවයේ හය හත් දෙනෙක් ගමනට සහභාගී උනා ..අපි එපා කියද්දීම වගේ නැති උණු අය්යගේ අම්මත් මේ ගමනට සහභාගී උනා..මොනවා කරන්නද ඉතින් ....
අපිත් එක්ක ඒ පුන්චිත් ගමට සහභාගී උනා ..දවල් 12 විතර වෙද්දී අපි කටුනායකට ගිහින් ගුවන් තොටුපලේ ඇවසි දේවල් කර ගෙන මෘත දේහය බාරගත්ත ...
ඉතින් අපේ කට්ටිය දැන් අපහු නුවර බලා එනවා ...හවස 3 විතර උනා ...කට්ටිය ඔක්කොටොම වගේ හරියට බඩගිනියි ..රියදුරු තැනට කියල වරකපොලදී පාරේ අයිනේ හෝටලයක් ගාව නතර උනා ..බඩ පුරවා ගන්න ..අපේ පුංචි ඉතින් අපිට විරුද්දව හඩ නගනවා ,,,මේ වගේ ;වෙලාවක මොන කැමක්ද කියල ...කොහොමින් කොහොමහරි බලෙන් වගේ එයාවත් වත්තන් කරගෙන හෝටලේ ඇතුලට ගියා ..අපි ඔක්කොම ලොකු මේසයක් වටේ වාඩි උනා...සියල්ලන්ගේම කැමැත්ත පරිදි ඉදි ආප්ප
මේසෙට පැමිණියේ කිරි හොදි මාළු ..පරිප්පු හොදිද සමගින් ...අර පුංචි කන්න බෑ කියල උපවාසයේ ..ඉතින් අපි මොකුත් කියන්න ගියේවත් බල කරන ගියේවත් නෑ ..අපේ කට්ටිය බඩ කට පිරෙන්න කනවා ..."මේ අය්යා තව මාළු හොඳි ගේන්න "කියමින් හෝටලේ වෙටර්ටත් කරදර කරනවා..අපේ පුංචි දැන් කට්ටිය දිහාම මුණ ලේන්සුවෙන් වහගෙන රවාගෙන හොරෙන් බලනවා ..අපිත් වැඩිය බැලුවේ නෑ .බයටම වගේ ..එක පාරම ඒ පුංචි "උඹල මට ඉස්පන්චියක්වත් කන්න කියන නැද්ද යකුනි " කියල ඇහුවේ නැද්ද ...අපි එක්ක හිටිය වැඩිහිටි කෙනෙක් ..."ආ ඉන්න ඉන්න" කියල .."මේ වේටර් මල්ලි ඔය ඉස්පන්චි ගෙන්න" කියල පණිවිඩේ යැව්වා ..වේටර් ඉතින් ඉක්මනින්ම ඉස්පන්චි මේසෙට ගෙනත් තිබ්බ ..අපි ඔක්කොම කිව්වා .."කන්න කන්න" කියල ..ඊට පස්සේ කදුළු එහෙම ලේන්සුවෙන් පිහ දාල ඉස්පන්චියක් ටිකක් අතින් ඔබල ...මේ "ඉස්පන්චි කන්න පුලුවන්ද යකුනි ඉදි ආප්ප ඉවරද?" ...කියල ඉදි ආප්ප කන්නම් කියල ඉදි ආප්ප කැවා ..ඉතින් අපිටත් ගොඩක් සතුටුයි පුන්චිත් බඩගින්නේ ඉන්නේ නැතිව අපිත් එක්ක දවල් කැමට සහභාගී වීම ගැන ...මල ගෙදර වැඩ කටයුතු එහෙම අහවර වෙලා ...ටික කාලෙකට පස්සේ..අදටත් " ඉස්පන්චි පුංචි" කියද්දී ඉතින් පුංචි ගෙන් හොඳ හොඳ වචනත් අහගන්න පුළුවන්

Sunday, January 6, 2013

"සරස්වතී දේවි "


බොහොම ඉස්සර අපි ගමේ පන්සලේ වේදිකා නාට්ටිය කරනවා .අජාසත්ත ,වෙස්සන්තර .අංගුලිමාල ,වගේම තවත් අලුත් නාට්ටිය අපි රග දක්වනවා ..ඉද හිටෙක මමත් සමහර චරිත වලට වෙස් ගැන්වෙනවා ..උම්මග්ග ජාතකය ඇසුරින් කරපු නාට්‍යයේ පුර්නක යකා මම ..මනමේ කරද්දී වැදී රජු මම..ගොඩක් වෙලාවට මුදු සුමුදු චරිත මට ලැබුනේ නෑ,,දැවැන්ත වගේම රෞද්‍රර චරිත තමා මට ලැබුනේ ...ධර්ම ශාලාවේ තියෙන ඩෙස් එක ලග එක ලග තියල ගැටගහල පොඩියට ස්ටේජ් එක ගහනවා .ඉස්සරහින් ප්‍රධාන ලොකු තිරය.. තව දෙපැත්තෙන් කොටස් දෙකකට වෙන්න තිර රෙදි එල්ලනවා ඒවාට මුවා වෙලා තමයි සංගීතය සපයන උදවිය ඉන්නේ .ගොඩක් වෙලාවට විදුලි ඕගනය ..ඩොල්කිය සර්පිනාව සහ බට නලාව තමා වාදනය උනේ.. අපේ සංවිදායක මණ්ඩලේ උදවිය ඉතින් කල බලේ එහෙ මෙහෙ දුවනවා ..ගොඩක් වෙලාවට මාසයක් විතර නිතර පන්සලේ තමා ..නාට්ටිය අහවෙනතුරුම කාලය ..ගතවෙන්නේ ..උදේ වරුවේ සැරසිලි කරනවා ..ඇන්තුරියම් මල් වලින් සහ තවත් නොයෙකුත් මලින් වේදිකාව සරසනවා ..පාට පාට බල්බ වලින් ආලෝකය හැඩ කරනවා ..හැන්දෑවේ හතට අටට නාට්‍යය වේදිකා ගතවෙනවා ,,රාජ වස්ත්‍රාභරණ යෙන් සැරසුණු ඔටුනු පලන් රජවරු ..රජුට පක්ෂපාති ඇමතිවරු..ඔල මොළ ගති වලින් හෙබි යක්කු ..දේවින් වහන්සේලා .පරිවාර ස්ත්‍රියෝ .ඉතින් කල එලි බහිනවා ..පසුබිම් සංගීතයත් එක්කම.."පස්වාන් දහසකට බුදු වෙන්න රජතුමනි "..ඔය වගේ දෙබස් නිතර කිය වුනා මතකයි ..දෙබස් වෙලාවකට අමතක වෙනවා ..අමතක වෙන දෙබස් මතක් කරන්න තිර පිටපත අතේ තියන් හැංගිලා කෙනෙක් උදව්වට ඉන්නවා .කොටසක් ඉවර උනාම තිරේ වහන්න දෙපැත්තේ දෙන්නෙක් බොහොම ඕනෑ කමින් බලන් ඉන්නවා ,,තිරේ අදින චරිතේ බාරගන්නත් සමහරු පොර කනවා..සමහර අවස්තාවල තිරේ මැදින් ගැලවිලා වැටිලත් තියෙනවා .එතකොට වෙදිකාවේ අදුර මැද්දේ සළු පිලි මාරු කරන නළු නිලියෝ .ඉතින් මිනිස්සුන්ගේ හූ හඬ අහල ගම් හතකට ඇහෙන විදිහට .කොහොමත් නාට්‍යය ඉවර වුනාම ගමේ හැමෝම හරි සතුටින් ප්‍රීති ගෝෂා පවත්වනවා .සති ගානක් යනකම්ම හොද කියනවා . නාට්‍යය පටන් ගන්න පෙරාතුව . ...මුලින්ම සරස්වතී දේවි නැමදුම .සරස්වතී දේවියට ඒ දවස්වල හිටියේ යමුනා ..වේදිකාව රෝස සහ රක්ත වර්නෙන් සුලලිත ව බබලනවා ..සරස්වතී දේවිය විදුලි එළියෙන් සුදුම සුදු වස්ත්‍ර කින් සැරසිලා සිතාරයක් අතේ අරන් හුනස්සෙ බොහොම නිහඩව මද සිනාවක් එක්ක ..විරාජමානව .ආඩම්බර ලීලාවෙන් ඉදිරිය බලා ඉන්නවා ..පරිවාර නැටුම් රගන ලලනාවියෝ අත් වල ඉටි පන්දම් අරන් දෙපැත්තෙන් "සරසවි දේවි නමෝ " ගී තයට රැගුම් පානවා ..යමුනාගෙන් පස්සේ සිතරේ අතට අරන් සරස්වතී දේවියට පන පෙව්වේ යමුනාගේ නංගී ලක්ෂ්මි එයත් යමුනට නොදෙවෙනි තරම් ලීලාවකින් කමලාසනාරුඩ වෙලා චාරු දේහිනිය වේදිකාව ප්‍රභාමත් කලා .කාලය කුරුළු වේගයෙන් ඉගිලිලා ගියා .වසර කීපයක් මන් විදෙස් ගත වෙලා ඉඳල ලංකාවට ගියා.. උදේ වරුවේ ,,කුඹුරු යාය අතරින් ගමේ පන්සලට ඉහලින් අලුත් දවසක් හිරු නැගෙනහිරින් එබිකම් කරමින් තිබුණා ..මන් ටවුමට යන්න පිටත් උනා ..බස් එකක් එනතුරු නොඉවසිල්ලෙන් බල හිටියා ..එතන තියෙන ටෙලිෆෝන් කණුවේ ඉහලින් කපුටෙක් කෑ ගහගෙන ඇතට ඉගිලිලා ගියා ,,මගේ ඇස් ටෙලිෆෝන් කනුව දිගේ ඉහල සිට පහලට යොමු වුනා .."මලින්ද ප්‍රින්ටර්ස් " කියල යටින් ලියවුනු ටිකක් පරණ මරණ දැන්වීමක් ඇලවිලා තිබුනා ..නිවන් සැප ලැබේවා .ලොකුවට ලියවිලා ..යන්තමට පේන කළු සුදු සේයාරුව ක්‍.. උදැසන තුෂර බිඳු එහි වෙලිලා විසිරිලා තිබුණා ..මන් .නිකමට වගේ ලංවෙලා බැලුවා ලක්ෂ්මි ගේ මරණ දැන්වීම ..ටික කාලෙකට කලින් ලක්ෂ්මි ජිවිතෙන් සමු අරන් තිබුනා ..පිළිකාවක් හැදිලා අවුරුදු ගානක් දුක් විඳලා දිවි මගෙන් ඇ සමු අරන් ..එදා පන්සලේ වේදිකාව විචිත්‍රවත් කළ සරස්වතී දේවිය නිහඩවම යන්න ගිහින් .......

Tuesday, January 1, 2013

අද එකයි


සකල ලෝක වාසින් බලපොරොත්තු කදු ,

පැතුම් බැමි, සිතුම් රැලි අතරින් තවත් නව වසරකට සේන්දු වුහ ..ගිය වසර පුරාම ජීවිතය ගලවා ගැනීමේ ...
බේරා ගැනීමේ ප්‍රයත්න දරු අයද බොහෝ වුහ ..සමහරු දේවාල පන්සල් බෝධි වන්දනා මාන කරමින් දස අතේ යමින් වසර පුරාම පින්කම් කරන්නට වුහ .
අවසන මායාවරුන් ගේ දින දසුනේ අවසානය මායවක්ම වී ..2013 පෙර වසරක් සේම විකසිතව බැබලුණි ..පෙර සේම මෙවරද සමහරු මේ ලබන්න වූ වසරේ
ග්‍රහ චාරිකාවන් අනුව ලියවුනු වසර පුරා ඉරණම කියවති ..ධන ලාබ ආදායම් වියදම් රැකි රක්ෂා උසස් වීම් විභාග ජය විවහ අපල උපද්‍රව ආදී දේ කියවමින්ද ඒ ගැන සිතමින්ද දවස් ගෙවනු ඇත ..එහෙත් එක සත්‍යක් ඇත ..
එනම්
හෙටද හිරු සුන්දරව සිනාසෙනු ඇත

Tuesday, December 25, 2012

"සර් මේ අයි ගෝ ටු ද ..............."


බොහොම පුංචි සන්දියේ වෙච්ච සිදුවීමක් .ඒ දවස්වල ඉස්කෝලේ නිවාඩු මාසෙක .අපේ ගමේ පන්සලේ ඉංග්‍රීසි පන්තියක් පටන් ගෙන තිබුනා ...පොඩි ළමයින්ට ..ඉතින් මටත් ගෙදරින් ගොඩක්

පෙරැත්ත කරා පන්තියට සහභාගී වෙන්න කියලා ..ඉතින් මමත් බේරෙන්න බැරිම තැන පොතකුත් නවාගෙන හැන්දෑවේ පන්සලේ තිබුන පන්තියට ගියා ..
මන් යද්දීම වගේ පන්තියත් පටන් ගෙන තිබුනා ..පන්තිය කරේ ටිකක් මහා බයංකාර පෙණු මක් තිබුණු මුහුණ පුරාම රැවුලක් වවාගත්ත සර් කෙනෙක් ...
මගේ ජිවිතේ පළවෙනිම ටියුසන් ගුරුවරයාත් ඒ සර් ම තමයි ..පන්තියේ ළමයි විස්සක් විතර හිටියා ..සර් මගෙත් නම එහෙම අහලා එදාට නියමිත පාඩම කරගෙන ගියා ..මට මොනවත්ම තේරෙන්නේ නෑ ..නිකන් ග්‍රීක් වගේ .මන් ඉතින් පැන අතේ තියාගෙන පන්සලේ වහලේ උළු ගණන් කරා ,,,ටික වෙලාවක් යද්දී තමා හොදම වැඩේ උනේ ..මට උහුලන්න බැරි තරමේ මුත්‍රා බරක් හැදුනා නොවැ ..හදිසියට පන්තියට දුවන් ආවට ඒ වැඩ කටයුත්තක් අමතක උනා ..කොච්චර අමාරුද කියනවනම් ඉන්නේ කොහෙද බැලුවේවත් නෑ ..නැගිටලා "සර් චු බරයි ටොයිලට් ගිහින් එන්නද"කියල ඇහුවා ..සර් මගේ දිහා බලල කිව්වා ..ඒ දේ ඉංග්‍රීසියෙන් කියන්න කියලා ...මගේ ලග හිටිය යාළුවා පන්තියේ පරණ කෙනෙක් ..එයා කිව්වා "සර් මේ අයි ගෝ ටු ද ටොයිලට් " කියන්නකියල ..
මන් නැගිට්ට
සර් "යස් " කිව්වා ...මන් "මේ අයි ..." කියනවා ..සම්පුර්න වාක්කිය කියවෙන්නේ නෑ .සර් යක්ශාරුඩ මුහුණක් මවාගෙන කිව්වා හරියට කියනකම් ටොයිලට් යන්න දෙන්නේ නෑ කියල ..හතර පස් වතාවක් උත්සහා කරත් "මේ කියවෙනවා ගෝ කියවෙනවා ටු කියවෙනවා ටොයිලට් කියවෙනවා ..සම්පුර්ණ වැකියම කියවෙන්නේ නෑ ..අනිත් එක ඒ අමාරුව අස්සේ ඔය වාක්කිය කියන්නේ කොහොමද ..මන් මොකද කරන්නේ කියලා කල්පනා කරලා සර් කළු ලැල්ල දිහා බලනකම් ඉඳලා පොතත් අරන් හීයක වේගෙන් එලියට දුවන් ඇවිත් පන්සලේ තිබුණු ගන්ටාරෙත් එල්ලිලා දෙතුන් සැරයක් ගන්ටාරේ ගහල (අදටත් අවේලාවේ අපේ පන්සලේ ගන්ටාරේ ගැහුව කෙනා මන් කියලයි මන් හිතන්නේ.. එදා මන් ගන්ටාරේ එල්ලුනේ ඇයි කියලා මන් අදත් මගෙන් ප්‍රශ්න කරනවා ..)ඊට පස්සේ වලාකුළු බැම්මෙන් පල්ලෙහාට පැනල වෙල් යාය දිගේම දුවන් ආවා ..ගෙදරට යන පඩිපෙළ හරියේදී නැවතිලා පන්සල දිහා බැලුවා ..මන් දැක්ක ඉංග්‍රීසි සර් ළමයිත් එක්ක වාලාකුළු බැම්මට හේත්තුවෙලා මන් දිහා බලන් ඉන්නවා ..අයෙත් අඩියට දෙකට ගෙදරට දිව්වා ...අම්ම ඇහුව මොකද මේ හදිස්සියේ කියල ,,අම්මට මන් සින්හලෙන්වත් උත්තර දුන් නෑ ..කෙලින්ම ටොයිලට් ගියා ,,,අම්ම ඇහුව" ඇයි පන්ති නැද්ද කියල" ..මන් කිව්වා "ඒ සර් හරි සැරයි මට ආයේ ඒ පන්තියට යන්න බෑ" කිව්වා ..අම්ම මොනවත් කිව්වේ නෑ ..මන් හොරෙන්ම වගේ අපේ පල්ලෙහා වත්තට ගිහින් හැංගිලා හිටියා ..මන් හිතුවා සර් අපේ ගෙදර එයි කියල ..එත් ආවේ නෑ ..මන් ටිකක් රෑ වෙලා ගෙදර ආවා ..මොකුත් ප්‍රස්නයක් උනේ නෑ ..ඊට පස්සේ මන් දවස් ගානක් යනකම් පාරට ගියේ නෑ ...අවුරුදු ගානක් යනකම් ටියුසන් පන්ති ගියෙත් නෑ ..
හැබැයි අදටත් හොදටම මතකයි 
"මේ අයි ගෝ ටු ද ටොයිලට් "

Saturday, December 15, 2012

" තිස් හතරට පායපු සඳ "


තිස් හතරට හද පැව්වම පුදුම ලස්සනක් ....තිස් හතර අපේ ගෙවල් ඉස්සරහ පුංචි කදු ගැටයක් ...අක්කර කීපයකින් වටවුණු අපුරු කන්දක් ..තනිකරම තේ ගස් වලින් වට වුනු තිස් හතරේ තැන් තැන් වල ඉලුක් ගස් ඉල්පිලා තියෙනවා.පැගිරි මාන එක පැත්තක ..පොල් ගස් පහ හයකුත් තියෙනවා උනත් ...පොල් ගෙඩිනම් නැත්තේම නැති තරම් ....

කුරුම්බා අවදියේදීම අන්තරස්ද්හන් වෙනවා. තිස් හතර කන්දේ බැවුමේ එක පැත්තකින් පන්සල ..නිහඩ තිස් හතරට පන්සලේ ගන්ටා හඬ මිහිරක් ...
තිස් හතරේ කදු මුදුනට වෙන්න වගේ පුංචි පැල් කොටයක් තියෙනවා..අපේ සහුර්දයෝ කාන්ඩේ ඉද හිටක ඔය පැල් කොටේට එකතු වෙලා පරණ අතීත සිද්දි ආවර්ජනය කරන්නේ තිස් හතරත් සිනා ගස්සමින් ... අන්තිමටම වගේ අපේ කට්ටිය එකතු උනේ සිංහල අවරුදු රාත්‍රියක ...එදා අපි සින්දු කිව්වා රෑ දොළහත් පහු වෙනක් ..හද එක්ක තිස් හතරේ පැළ ඉස්සරහ අමරදේවයන්ගේ "ආරාධනා" සින්දුව කිව්ව හැටි ...තිස් හතර කන්ද පුරාම "අතීතයේ තුන් මංසල "විසිරිලා ගියේ පුදුම තරම් ලස්සනට. .... ...
තිස් හතරට පාලොස්වක හද ආවම පුදුම තරම් ලස්සනක් ..රන් තැටියක් වගේ හද තේ යායත් එක්ක කන්දේ ගැටුනම සිත්තරෙකුටවත් ඇද නිම කරන්න බැරි සිත්තමක් මවනවා ..නිස්කලංක රාත්‍රියක තිස් හතරට පැව්ව හද දිහා බලන් ඉද්දි හිත පුදුම තරම් සුවපත් වෙනවා..රාත්‍රියේ තරු රංචු මුකුළු කරද්දී හද වලාකුළු මතින් රන් වතුර මුදාහරිද්දී තිස් හතර නිසොල්මනේ බලන් ඉන්නවා ...
පුංචිම කාලේ ගෙදර මිදුලට වෙලා අම්මා මාව ඔඩොක්කුවේ තියාගෙන ..තිස් හතරේ කන්දට පායපු හද පෙන්න පෙන්න ...'හද මාමා කිරි පැණි අරන් එනවා කියා කියා ..මේ කටත් මේ කටත් කියමින් මගේ පුංචි හිතම තිස් හතරේ කන්දේ හදට යොමු කරවමින් පුංචි බෙලෙක් පිගානේ බත් ඇටයක්වත් ඉතිරි නොවෙන්න මට බත් කැව්ව හැටි මතක් වෙනවා

 (මේක ලියද්දීනම් මටත් නොදැනී මගේ ඇස් මතින් කදුලක් කම්මුල් සිප ගන්නවා )

අම්මා වියපත් උනත් ඉද හිටෙකවත් තිස් හතර දිහා බලනවා ඇති ..එත් ඔඩොක්කුවේ මන් නැතුව ..... අම්මව සිප ගන්න මන් ලග නැති උනත් අදත් පාලොස්වක හද තිස් හතර සිපගන්නවා ඇති ..............

Tuesday, December 11, 2012

මා බාල කාලේ


කෝම් පිට්ටු

"අපේ තාත්තට කොළඹ යන්න කෝම් පිට්ටු ඉදියෝ "...පුංචි කාලේ සෙල්ලම් බත් ඉව්වේ එහෙම කෑ ගහමින් ...ගෙවල් වටේම හිටිය කොල්ලෝ කුරුට්ටෝ
කෙල්ලෝ කිරිට්ටියෝ උදේ පාන්දරින්ම එකතු පාදා වෙලා ...සෙල්ලම් බත් උයනවා ..එහෙමත් නැත්නම් කෝම් පිට්ටු හදනවා ..මිදුලේ තියෙන වැලි එකතු කරලා
පුංචි වැලි ගොඩක් ගොඩ ගහල ..වතුර ටිකක් එකතු කරනවා ..ඊට පස්සේ වත්ත පහල විසි කරපු පොල් කටු දෙකක් අරගෙන ඉන් එකකට අර තෙත් වැලි පුරවනවා
පොල් කට්ට පිරෙන්නම ..ඊට පස්සේ පොල් කට්ට වැලිත් එක්කම අනිත් පැත්ත හරවල ..බිම තද කරනවා ..අනිත් පොල් කට්ට අරන් වැලි තද කරපු පොල් කට්ටට වටේට
අතින් ගහනවා .අතින් ගහමින් කටින් කියනවා ..'අපේ තාත්තට කොළඹ යන්න කෝම් පිට්ටු ඉදීයෝ "කියල ..ටික වෙලාවකින් පොල් කට්ට අයින් කරාම ඒ හැඩේට තියෙන කෝම් පිට්ටුවක් ..එහෙමත් නැත්නම් සෙල්ලම් බතක් ..වෙලාවකට ඒ වගේ කෝම් පිට්ටු විස්සක් තිහක් හැදෙනවා ..අන්තිමට කට්ටිය වට වෙනවා ..කෝම් පිට්ටු එහෙමත් නැත්නම් සෙල්ලම් බත් කන්න ..සෙල්ලම් බත් වලට එළවලු විදිහට එකතු වෙන්නේ මල් ගස් වල පුංචි අතු කැබලි පොඩියට කඩල ..ක්‍රෝටන් කොලත් එක එලවලුවක් ..කරවල විදිහට එකතු වෙන්නේ කෙසෙල් මුව වේලිලා බිමට වැටුණු කෙසෙල් මුවේ කැබලි ..බත් කාල ඉවරවෙලා වතුර බොන්නේ ..හරිම අපුරු විදිහට ..අමු එහෙත් කර නොවුණු කොස් කොළ ගොට්ට හදල ඒකට වතුර දාලා ...ගොඩක් වෙලාවකට එක කුරුට්ටෙක් තාත්තෙක් වෙනවා ..කිරිට්ටියක් අම්මෙක් වෙනවා ..අනිත් කුරුට්ටෝ කිරිට්ටියෝ පුතාල සහ දුවල ...
තාත්තා කුරුට්ටයි අම්ම කිරිට්ටියි තමා කෝම් පිට්ටු බෙදල දෙන්නේ ..අනිත් අයට ..