Saturday, November 17, 2012

"උක්කුන් මහත්ති "



පුංචිම පුංචි කලේ ගමේ මගේ හොදම යාළුවා උනේ උක්කුන් මහත්ති ...නම පියලත් උනත් ගෙදර අය ගමේ අය ඔක්කොම කිව්වේ උක්කුන් මහත්ති කියල ..
මන් පුංචි කාලේ නිතරම එහෙට ගියා ..සෙල්ලම් කරන්න ...මට හොදට මතකයි මට සෙල්ලම් කරන්න ඕනෙම දේවල් ලගට දීල උක්කුන් මහත්ති ගෙදර දොරේ වැඩ කරනවා ..මට වඩා වසර දෙකකින් විතර වැඩි උනත් වත්තේ පිටියේ හැමදේම වගේ කරේ උක්කුන් මහත්ති ..එහෙ එල හරක් හිටියා ..එල හරක් ගාල නිතරම සුද්ද පවිත්‍ර කරේ උක්කුන් මහත්ති ..එල හරක්ට කැමට වල් කපන්න යන්නේ සරම කැහපට ගහගෙන දෑ කැත්ත අතේ තියාගෙන හරිම උජාරුවෙන් ..උක්කුන් මහත්ති හරිම කඩිසරයි
ගමන හරිම වේගවත් ..මමත් ඉතින් නිතර උක්කුන් ම්හත්තිගේ පස්සෙන් යනවා ..ඒ කරන හැමදේම දිහා බලන් ඉන්නවා ..එහෙ ගෙදරට පහල පුංචි තල් ගහක් තිබුනා ..එතන නිතරම සෙල්ලම් ගෙයක් හැදෙනවා ..කඩයක් හැදෙනවා ..එක එක කොළ ජාති කඩේ පුරවනවා ..එළවලු විදිහට ..සෙල්ලම් බත් හැදෙනවා ..කෝම් පිට්ටු විදිහට
විනාඩි කීපයකින් උක්කුන් මහත්තිට කතාකරනවා ..එක්කෝ වල් කපන්න ..නැත්නම් හරක් ලිහන්න නෑත්නම් හරක් බදින්න .."මන් ටක් ගාල එන්නම් කියල" යනවා .. ගිහින් ඇවිත් ආයේ ටික වෙලාවක් ඉන්නවා ..තල් ගහට මෙහායින් ලොකු ජම්බු ගහක් තිබුනා ..අපිට ගහට නගින්න බැහැ.ජම්බු වැටුනම අහුරු පිටින් සාක්කු පුරවා ගන්නවා ..දවසක් මට මතකයි උක්කුන් මහත්තිගේ අම්ම කිව්වා "අන්න අරහේ ඉස්ටෝරුවට ගිනි තියල දෙන්නම ගිහින් බලල එන්න "කියලා කිවා .'..එදා තමයි මමයි උක්කුන් මහත්තියි ගෙදරින් පිට ගියපු පලවෙනි දවස ..ඉතින් අපි දිව්වා ගමේ තියෙන තේ ගස් වලින් ගහන කන්දට ..කන්දේ ඉඳන් අපි දෙන්න ඇතම ඇත ඉස්ටෝරුව ගිනි ගෙන අහසට දුම් වලා පිට කරන හැටි බලන් හිටියා ..අපිට ඒ හැටි තේරුමක් තිබුනේ නෑ ..ඒ කළු ජූලිය .. සිංහල අය කෝප වෙලා ඒ තේ දළු ඉස්ටෝරුවට ගිනි තියල ..අපි දෙන්නම බියෙන් ත්රස්ත වෙලා අයෙත් දුවගෙන ගෙදර ආවා ..මන් දවසට දෙපාරක් විතර උක්කුන් මහත්තිලගේ ගෙදර ගියත් උක්කුන් මහත්ති අපේ ගෙදර ..ආවෙම නැති තරම් ..
ඔහොම කාලය ගෙවිලා ගියා ..මන් ගමේ ඉස්කෝලෙන් අර්ද නාගරික ප්‍රාථමික විදුහලකට ගියා ..ඊට පස්සේ ටිකෙන් ටික උක්කුන් මහත්තිලගේ ගෙදරය යන එකත් අඩු උනා ..ඊට ටික කාලයකට පස්සේ මන් අපේ මාමලාගේ ගෙදර සතියක් විතර නැවතිලා හිටියා ..ඒ දවස්වල එහෙ කුඹුරු වල වැඩ පටන් ගෙන ..ගොයම් නෙලන කාලේ ...මට අවුරුදු 9ක් දහයක් විතර ඇති මගේ හිතේ ..අම්මල එහෙම කට්ටිය ත් මාමලාගේ ගෙදර හිටියේ.. 
මට හොඳට මතකයි දවසක් කුඹුරු යාය මැද්දෙදි ගිනි කාෂ්ටක අව්ව වෙලාවක අම්ම කිව්වා ..
"අරෙහෙ උක්කුන් මහත්තියා පාචනේ හැදිලා ඉස්පිරිතාලේ අරන් ගිහින් ඕන් අද උදේ නැතිවෙලාලු..පව් .. ..අපේ පුතාගේ යාලුවා" කියල 

 ..මන් මොනවත් කිව්වේ නැ ..අහන් හිටියා විතරයි ..මන් කුඹුරු යාය මැද නියර උඩ වාඩිවෙලා ඉස්සරහ බලන් හිටියා ....කිසිම හැගීමක් නැතිව ඔහේ .. 
සතියකින් විතර තමා අපි ගමට ආවේ ...ඊට පස්සේ මන් කවදාවත් උක්කුන් මහත්ති දැක්කේ නෑ ..කාලයක් යනකම් මන් ඒ ගෙවල් පැත්තේ ගියෙත් නෑ ..
දැනුත් සිංහල අව්රුද්ද්ට එහෙම මන් එහෙට යනවා ,,ගිහින් ඉස්තෝප්පුවේ වාඩි වෙලා ඉස්සරෝම බලන්නේ පුංචියට රාමු කරලා තියෙන සුදු මල් මාලයක් එල්ලලා තියෙන මතකයක් පමණක් ඉතුරු උණු උක්කුන් මහත්තිගේ දිහා.................

Saturday, November 10, 2012

"සුන්දර ටෝන් එක"


මැලේසියාවේ ඉන්න කාලේ දවසක් ලස්සන හවස් වරුවක මගේ ජංගම දුරකතනයට කවදාවත් අහල නොතිබුනු ගීතයක රිගින් ටෝන් එකක්
ආවා ..එක සැරයක් ඇහුව ගමන් මන් වහ වැටුනා .එදා හවස සිය දහස් වතාවක් මන් ඒ ටෝන් එක රස වින්දා ..දවස් ගානක් මන් පුදුම විදිහට ඒ ටෝන් එක ඇහුව ..මන් ඒ රිගින් ටෝන් එකට අදාල ගීතය ගැන විස්තර හෙව්වා ..එස් .පි.බාලසුබ්‍රමනියම් ගේ මනින් ඉන්ද කාදලාන් ගීතය ...තත්පර තිස් ගානක් හුස්ම නොගෙන අන්තරා කොටස නොනවත්වා කියන මනරම් ගීතය ...මන් මැලේසියාවේ හිටිය කාලේ පුරාම මගේ දුරකතනයේ තිබුනේ ඒ ටෝන් එක .
ලංකාවට ගියාට පස්සේ දුරකථන වෙනසක් නිසා ඒ ටෝන් එකත් නැති උනා ,,එත් මන් ඒ රිගින් ටෝන් එක හොයාගන්න සැහෙන උත්සහයක් දරුවත් වැඩේ හරි ගියේ නෑ ,,මට මතකයි නුවර ද්‍රවිඩ රෙකොර්ඩ් බාර් කීපයකම මන් හෙව්ව හැටි ...ඒත් මට ඒක හොයා ගන්න බැරි උනා ..
දවසක් හදිසියේ ත්‍රිකුණාමලේ සහ නිලාවැලි ප්‍රදේශයේ සංචාරයක යෙදුනා ..ගිනි කාෂ්ටක අව්වේ උණු වතුර ලින් බලන්න ගිහින් එන ගමන් ප්‍රවේස පත්‍ර ගන්න කුටිය හරියෙන් මන් ගොඩක් අස කරපු ඒ රිගින් ටෝන් එක අයෙත් ඇහෙන්න පටන් ගත්ත ..මන් විමසිල්ලෙන් බැලුවා ..සුදු සරමක් සහ සුදු කමිසයක් ඇදන් හිටිය
ද්‍රවිඩ ජාතිකයෙක් ගේ අතේ ජංගම දුරකතනයේ ඒ ටෝන් එක ..මන් එතන මොහොතකට නැවතිලා ඔහුට කිව්වා මට දැන්ම ඒ ටෝන් එක මගේ ජංගම දුරකතනයට එවන්න කියලා ..ඔහු විකමින් සිටි බුලත් විට එහෙම කටෙන් එලියට දාල මගෙත් එක්ක බොහොම අවිහිංසක විදිහට හිනා උනා ..විනාඩි ගානක් උත්සහ කරා ඒ ටෝන් එක එවන්න. ඒත් තාක්ෂණික දෝෂයක් නිසා ඒ වැඩේ හරි ගියේ නෑ ..අපේ ගමන ගිය අයත් බලන් ඉන්නවා මන් එනකම් ..ඔහුට තේරුනා ..මගේ ආසාව වගේම මගේ ප්‍රමාදයත් ..."මහත්තය දැන් යන්න.. මන් ගෙදර ගිහින් පුතාට කියල මේ ටෝන් එක එවන්නම් ..මහත්තයගේ නොම්බරේ දෙන්න " කියල..මගේ දුරකථන අංකය ලියාගත්තා ..ඉතින් මන් ගෙදර අවා ..දවසකට පස්සේ එක හැන්දෑවක මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් විදිහට ඒ රිගින් ටෝන් එක ආවා ..මන් විසි තිස් වතාවක් ඇහුව ..රස වින්දා ඒ තරම් මන් ඒ ටෝන් එකට ලොබ බැන්දා ..ටික වෙලාවකට පස්සේ මන් ඒ දුරකථන අංකයට ස්තුතිය පුද කරන්න කතා කරා ..ඒත් වැඩ කරේ නෑ ..කෙටි පණිවිඩයක් යැව්වත් ඒකත් මගේ දුරකතනයේම රැදිලා තිබුන ..සතියකට මාසෙකට පස්සෙත් කතාකරන්න උත්සහා කරත් ඒ අංකය වැඩ කරේ නෑ ..
ප්‍රස්නයක් උනත් 
ඒ සුන්දර රිගින් ටෝන් එක මට හැමදාම හරිම සුන්දරයි .......!

Sunday, October 28, 2012

"පින්නවල අලි"


හදිසියේ දවසක් හවසක මගේ යාලුවෙක් ඇහුවා .."හෙට උදේ පොඩි ට්‍රිප් එකක් යනවා .පින්නවල අලි බලන්න ...එනවද කියල". .
ඒ දවස්වල මමත් උසස් පෙළ ඉවරවෙලා ගෙදරට වෙලා උන්නු කාලේ ..සල්ලි සත පහක්වත් එපා කිව්වා .පැමිණීම විතරයි කියලත් කිව්වා ..හය දෙනෙක් යන බවත්
හෙට උදෙන්ම එන්න කියල ත් කිව්වා ...මමත් ඉතින් කැමති වෙලා ඊලග දවසේ උදෙන්ම නා කියා ගෙන ලස්සන CK ඩෙනිමක් ඇදල..ඩෙක් ශුස් දාල එහෙම
උදේ 7 ට ටවුමට ගියා ..මගේ යාලුවත් අවා ..කළු කලිසමක් සුදු කමිසයක් එහෙම ඇදලා ..අපි දෙන්න නුවරට ගියා ..මන් ඇහුවා "කෝ දැන් කට්ටිය කියල ..
එතකොට කිව්වා .."ට්‍රිප් එකේ කට්ටියම රඹුක්කනින් සෙට් වෙන්නේ ..අපි එහෙ ට යමු කියල යාළුවා කිව්වා ..අපි දෙන්න පොඩි මැණිකේ ට්‍රෙන් එකේ රඹුක්කනට ගියේ
සින්දු කිය කියා ..විහිලුවට වගේ සින්දු කවි කරමින් ..මට තාම මතකයි අපි ඉස්සරහ හිටිය මුස්ලිම් ජාතිකයා අපේ සින්දු ඇහෙද්දී කන් දෙකේ කහබිලියා ගැවෙනවා වගේ අපි දෙන්න දිහා බලා හිටිය හැටි ..රඹුක්කනට ගියා ..මන් ඇහුවා "කෝ කට්ටිය කියල .. ...ඊට පස්සේ මගේ යාලුවකිව්ව ,,,"මොනවහරි අප්සෙට් එකක් වෙලා තියෙනවා මචන් ...අපි මොනවා හරි කාල ඉමු කියල ...අද කොහොමත් පින්නවල අලි බලන්නම් ඕනේ අපි ට්‍රිප් එක සංවිදානේ කරපු කෙනාගේ ගෙදරට ම යන්" කියල ..එහෙ යන්න පිටත් උනා ..මට මතක හැටියට හේවා දිවෙල කියල පැත්තක් ..පොල් පැටෙව්වා වගේ මිනිස්සු පිරිච්ච වැන් එකක නැගල හිටගන කොන්දත් නමාගෙන දැන් ගමන යනවා ...පුදුම දුරක් ...පැය එක හමාරක් දෙකක් ...අන්තිමේට ගමන අහවර උනා .ගමනාන්තේටම ගියා .ඉතුරු උනේ මමයි මගේ යාළුවයි වාහනේ රියදුරු සහ ගෝලයා විතරයි ..මන් ඇහුවා "කෝ දැන් කට්ටිය කියලා"..යන් මචන් ගෙදරට තව ටිකක් දුර යන්න ඕනේ කියල මගේ යාලුවා කිව්වා .. අපි පයින්ම ගමන යන්න පිටත් උනා ..කදු හෙල් තැනිතලා වතුර වලවල් ..කුඹුරු ලියදි නියරවල් මැදින් දැන් අපි යනවා ..උදේ ඇදන් ආව ඩෙනිම ඩෙක් සුස් මඩ වෙලා...ඇග පුරා සුවඳ විලවුන් සුවද මැකිලා දාඩිය දාලා ..මැදන් ආව කමිසේ පොඩි වෙලා තිබුනා ..හැතැම්ම 3ක් විතර පයින් ගියා ..ඊට පස්සේ පොඩි ගමකට ඇතුල් උනා .."මන් ඇහුව මෙහේද පින්නවල සංවිදායක ඉන්නේ කියලා "...
"ඔව් මචන් තව ටිකක් ඉස්සරහ ගෙවල් කියල"යාලුවා කිව්වා ..ටික ටික ගම මැද්දට යද්දී සුදු පාට කොඩි එල්ලිලා වටේටම වගේ ..මල ගෙදරක් ..මන් ඇහුවා "මල ගෙදරක් නේද කියලා"..යාලුවා උත්තර දුන්න ..."ඔව් මචන් මෙහෙ තමා අර ගෙදර" කිවා ..මන් උඩ බිම බැලුවා..."මචන් අපේ පප්පගේ (අපේ යාලුවා තාත්තට කියන්නේ පප්පා කියල )යාලුවෙක් මැරිලා මචන් ..මේ ඒ මල ගෙදර.. සමාවෙයන් මචන් මට බොරු කිව්වට" කියල යාළුවා වදින්න පටන් ගත්තා .. ..මට යකා නැග්ග ..මන් කිව්වා "මන් දැන් යනවා කියලා "එන්න අවා . දැන් .මගේ යාලුවා මගේ කමිසෙන් අදිනවා ..අපි දෙන්නගේ මේ රගපෑම මල ගෙදර අය ඇත ඉඳන් බලාගෙන ..අන්තිමේදී තරහින් උනත් මන් මල ගෙදරට ඇතුල් උනා ...මිනිය ලගට ගියා ...වදිද්දී මන් දැක්කේ ...අවුරුදු 103 සියා කෙනෙක් ..මන් ඇහුවා "මේ මනුස්සයා බලන්නද යකෝ මෙච්චර දුරක් ආවේ කියලා" ..මගේ යාලුවා කියනවා" මචන් බනින්න එපා මචන් අපේ පප්පගේ යාලුවෙක් මචන් කියලා.".ආයේ මන් කනට කරලා කිව්වා "මේ පින්නවල අලි ට්‍රිප් එකේ සන්විදායකද" කියලා ..
"පප්පගේ යාලුවා උනත් මට හිනා යනවා මචන් මාව හිනස්සන්න එපා" කියල යාලුවා කියනවා ..ටිකකින් අපි එලියට ගියා ,,පුටු දෙකක වාඩි උනා ,,කවුරුත් අපි දිහා පුදුමෙන් වගේ බලනවා ,,නාදුන්නන අය දිහා බලන විදිහට ..ටික වෙලාවකින් සුදු ඇදගත්ත මැදි වියේ කෙනෙක් ඇවිත් ඇහුවා "කව්ද මේ ඉලන්දාරි දෙන්න කියලා" ,,,යාලුවා උත්තර දුන්න "අර නුවර ,,අර අරහේ ජයසේන ලගේ අර විජේසිංහ එයාලගේ බාප්පා ගේ ......"වැඩිය කියන්න නොදීම අර මැදි වියේ කෙනා කිවා .."කමක් නෑ කමක් නෑ කවුරු උනත් මේ ..එහෙනම් ඔහොම වාඩි වෙලා ඉන්නකෝ" කියල යන්න ගියා ..අපි ටිකක් වෙලා ඉඳලා එන්න අවා ..නුවරට එද්දී හවස පහත් පහු වෙලා ..එදා අපේ ගමේ පින්කම් ගෙදරක් තිබුනා මන් එහෙ යද්දී අපේ යාලුවෝ කියන්ට පටන් ගත්තනේ කොහොමද මචන් පින්නවල අලි ශෝක්ද කියලා ...මගේ ජිවිතේ කාපු ලොකුම ලනුව
 "103 යි ...පින්නවල අලි යි .."

" තම රියා දෙවොල "


සුන්දර මැලේසියාවේ තමරියා ප්‍රදේශයේ හිටිය කාලේ ඒ ලගම ඇති කෝවිලක් ගැන විස්තරයක් දැනගන්න ලැබුනා ....සෙනසුරාදා දවසක
අපේ කට්ටිය ඒ කෝවිල හොයන් ගියා ..විසල් පඩි පෙළක් තරණය කරමින් කෝවිලට ලං උනා ...කන්දක් උඩ රමණීය භූමියක අලුතින්ම
ඉදි කරලා තිබුණු දෙවොල හරිම මනස්කාන්තයි ..හැම සෙනසුරාදාම වගේ පුජාවක් පැවැත් උනා ..හින්දු බැතිමතුන් ගොඩාක්මත් නෑ.දෙවොල් බිමේ
හිස් අවකාසයකුත් තිබුනා ..කලබලයක් තිබුනෙම නැති තරම් ..මන් ගොඩක් ප්‍රිය කළා ඒ වට අවට පරිසරයට ..කෝවිලේ ඇතුලතින් යාන්තමට
වගේ දේව ගීතිකා ඇහෙනවා ,,අපිත් කෝවිලේ ඇතුලට ඇතුල් වෙලා බොහොම භක්තිමත්ව දෙවියන් වැදලා...පහන් දැලි මුනට අල්ලලා ..සින්දුර්
නළලේ ගාගෙන දෙවියන්ට පේ වෙනවා ..
මොහොතකින් පුරට්ටු නාග සලන් සද්දෙත් එක්කම දෙවියන් වැඩමවනවා ...පුංචි දෝලාවක තියලා බොහොම බැතියෙන් ..අපිත් ඒ දෝලාවට හරෝ හරා
කියමින් කර ගහනවා ..දෙවොල් බිම වටේ තුන් වටයක් ගමන් කරලා නැවත දේව කුටියේ දෙවියන් තැන්පත් කරනවා,,අනේකවිද සුවදවත් මල් ඉසිමින් ..
දේව පුජාවෙන් පස්සේ පුජාවට සහභාගී උණු අය‍ට රාත්‍රී ආහාරය ....කෙසෙල් කොලේ බත් එක්ක ලොකු පපඩම් වට්ටක්ක මාළුව වැරදුනේම නෑ .රාත්‍රී කෑමෙන්
පස්සේ හින්දු බැතිමතුන් කෝවිල කිට්ටුවම පිහිටි ඒ ඒ නවාතැන් වලට පිට වෙනවා .හරිම නිස්කලංක දිව්‍ය භුමිය දිහා ශනිදා සදු ඇතම ඇත කදු මිටියාවතෙන් එහා
ඉඳන් බලන් ඉන්නවා ..අපිත් එන්න එනවා ,,,මොකක්දෝ ලොකු තනිකමකුත් කර පින්නගෙන..
ඒ එන අතරමග හතර මන් හන්දියේ කහම කහ පාට මැලේ රඹුටන් පිරිච්ච ගෙඩි බිමටම බර වෙච්ච ගහක් තිබුනා ..අපි දේවාලෙට යද්දී කහ රඹුටන් අපේ දිහා
බලන් ඉන්නවා ..දෙවාලෙන් යද්දී කහ රඹුටන් අපේ සාක්කු වලට වැටිලා පිරිලා තෙරපිලා අපි එක්කම එන්න එනවා ..

Wednesday, October 3, 2012

" ඉතින් ඊට පස්සේ .................!"


ප්‍රේමකීර්ති ද අල්විස් රචිත වික්ටර් රත්නායක යන් ගයන ඉතින් ඊට පස්සේ ගීතයේ පසුබිම හරි අපුරුයි ..ඉස්සර තිබුනා "සිත්තර "කියල චිත්‍ර කතා පත්තරයක්
..පත්තරේ ජනප්‍රියම කතාව උනේ ..ඉතින් ඊට පස්සේ" ..චිත්‍ර කතාව ..මුලින්ම ඔය කතාව ලිව්වේ "බලන්ගොඩ සරත් මධු "කොටස් 1000ක් විතර ලිය උණු කතාවක්
හරි ලස්සනම කතාවක් ..ප්‍රදාන චරිත දෙක .."දේදුනු- කැලුම් "ප්‍රේමකීර්ති ගීතයේ අග හරියේ දේදුනු කැලුම් පෙම් පුරාවත මතක් කරමින් ඉතින් ඊට පස්සේ ගීතය රචනා කරා ..ඒ වගේම තව කතාවක් තිබුනා .."කුමාර "..ඇන්ද "තටු සිදුනු කිරිල්ලි "කියලා ..ඒ කතාවත් පාදක කරගෙන මිල්ටන් මල්ලවාරච්චි ගයන "තටු සිදුනා කිරිල්ලියේ "ලියවුනා .සිත්තර පත්තරේ අමතක නොවෙන කතා කීපයක්ම තිබුනා .."මිහිරි පැතුම් "-"සුද්දී "-සදා"-රැල්ල වෙරළට ආදරෙයි "-ඉන්ස්පෙක්ටර් ශ්‍රී නාත් "වයි රොඩී" වගේම මැද පිටුවේ කැමිලස් ගේ "ගජමෑන්" ඒ අතර ප්‍රදාන උනා ..චිත්‍ර කතා ඇදපු අය අතර සරත් මධු ,ගුණපාල ජයලත් ,කුමාර,සුමතිපාල ජෝතිපාල ,රානි හේමලතා ,විල්බට් රණසිංහ ,බන්දුල හරිස්චන්ද්‍ර ,කැමිලස් ,ගයාෂාන් ඇල්පිටිය ,අරවින්ද යන අය ප්‍රදාන උනා මගේ මතකේ හැටියට ..චිත්‍ර කතා පත්තර අතර දසුන සත්සිරි ..මදුර..චිත්‍ර මිත්‍ර ඒ කාලේ හරි ප්‍රසිද්ධයි ...
මන් මුලින්ම පත්තරයක් විදිහට දැක්කේ මහා රෝහලකදී ..පුංචිම කාලේ දවස් දෙකක් රෝහලක නතර වෙලා හිටියා ..එදා මට එහා පැත්තේ හිටිය රෝගියා ලග පත්තරයක් තිබුනා ..,මන් ඒක බැලුවා ...මුල් පිටුවේ "නවක නළු සනත් " කියල සනත් ගුණතිලකගේ සේයාරුවක් තිබුනා ,,,පත්තරේ නම "සරසවිය "ඒ තමා මන් මුලින්ම දැකපු පත්තරේ ..සිනමා පත්තර අතර තිරතරු -ගීතා කියන පත්තර ත් හරි ජනප්‍රිය උනා ..රන්කැටි කියල පුංචි පත්තරයක් තිබ්බ මට මතකයි ..කාලයක් යද්දී විජය පත්තරේ වගේම මිහිර පත්තරේටත් ලෙන්ගතු උනා ..විජය පත්තරේ පියල් උදය සමරවීරගේ මල් මාමා හෙවත් මකාගෙ යලක් "කතාව තාමත් මතකයි ..විදුසර -සතර -සමුදුර පත්තර වලටත් බොහොම ප්‍රිය උනා ..කාලයක් යද්දී මන් ක්‍රීඩා පත්තරේ නිතරම ගන්න පුරුදු උනා ..ඒ පත්තරේ මන් ක්‍රිකට් ලෝලියෙක් කරා කිව්වොත් හරියට හරි ..මට මතකයි පත්තරේ තිබුණු ක්‍රිකටස් ලගේ පින්තුර කපල පොතක ඇලෙව්වා ..පත්තරේ හිටිය අය අතර ක්‍රිස්ටෝපර් රණසිංහ ,සදුන් ප්‍රේමතිලක යන අය මතකයි ..තරුණයා පත්තරේටත් ටිකක් විතර කිට්ටු උනා මතකයි ..ඒ කාලේ පත්තරේ කරේ රොඩ්නි විදාන පතිරණ ..දයා රාජපක්ෂ ඇදපු මිස්ටර් මැරිඩ් කතාවත් සිනා සාගරයක් ..
සගරා අතර ශ්‍රී -මනහර -සෝවියට් දේශය -කුරියර් -පෙරමග -මුතු හර-වනිතා විත්ති-සිව්දෙස ප්‍රදාන උනා ..සගරා ගැන ලියවුනු හින්දා කුමාර සිරිවර්දන ..ගාමිණී විජේතුංග -එඩ්වින් ආරියදාස සහ කරුණා පෙරේරා යන නම් හතරත් ලියන්න හිතුනා ..
එක කාලයක මන් ආනන්ද පද්මසිරි කරපු සංගීතයට සම්බන්ද "සත්සර "පත්තරේ ගත්තා .සත්සර පත්තරේ නමට ඉහලින් ලියලා තිබුනා .."සංගීතය දෙවියන්ගෙන් මිනිසාට උරුම වූ අපුරු දායාදයකි " කියලත් ..ගොඩක් වෙලාවට පත්තරේ මුල් පිට සැරසුවේ කිර්ති පැස්කුවල් ..ගිටාරයක් අතින් අරගෙන ..කවරය නිර්මාණය කරේ "පවර සුජිත් මාරඹගේ "
බන්දුල පද්ම කුමාරගේ "අරලිය "පත්තරේ ගැන නොලිය කොහොමද අරලියේ දෙවැනියා-ප්‍රදීප් කුමාර බාලසුරිය ඒ වගේම ගැමුණු රත්නායක ,මනෝජ් රත්නායක ,රොහාන් බුලේගොඩ එහෙමත් හිටියා ..මයිකල් ආන්ජලෝ ගේ රොබරෝසියා මල්-මල් දෙවටයි ඔබ මගේ මාවතේ වගේම උපුල් ශාන්ත සන්නස්ගලගේ
වස්සාන සිහිනයත් හරිම ලස්සන කතා පෙළක් ..වස්සාන සිහිනයේ කසුන් චාපා සිනමාවකටත් සිත්තම් උනා ආදරණිය වස්සානය කියලා ..අරලියේ අන්තිම පිටුව ජෙහාන් නවාස් බදු අරගෙනම වගේ කේක්‌ පාඩම් ඉගැන්නුවා ..අරලිය ආණ්ඩු පක්ෂයේනම් විපක්ෂය වගේ හිටියේ දර්මරත්න පෙරේරා ගේ කුමරි"..කුමරියේ හිටිය කීප දෙන අතර ..කුමාර සිරිවර්දන ,චාමර මුතුනායක ..මතකයි ..දේවින්ද දසනායකගේ රෝස පිටුවේ කවි හරිම රසවත් ..ශාන්ත කුමාර විතාන ලිව්ව නිලි වැස්ස කතාවත් හරි අපුරුයි ඊට පස්සේ ආව පත්තරය අර්නස්ට් වඩු ගේ සංස්කරණය කල සුවඳ ..සුජීවගේ බොඳ මීදුම් -චමිලා රුවන් කුමරි ගේ "නාඩන් බට්ටිච්චි "චන්දි කොඩිකාරගේ 'හිම යයක මල් පිපිලා " කතා හරියට ජනප්‍රිය උනා..ඉස්සර තිබුණු යොවුන් ජනතා පත්තරෙත් හරිම අගේ ඇති පුවත් පතක් ..
ජාතික පුවත් පත් අතරින් මන් මුලින්ම බැලුවේ රිවි රැස පුවත් පත ..ඒ වගේම දවස ..දිනමිණ සිළුමිණ නිතර අපේ ගෙදර තිබුනා මතකයි ,,දිනමිණේ ඇස්.කරුනාදාසගේ සිනා රැල්ල ..වගේම පාර්ලිමේන්තු කතා හරි ආසාවෙන් කියෙව්වා ..තිලක් කරුණාරත්න (කළුතර දිස්ත්‍රික් ශ්‍රීලනිප පාම )-එස් .එල් .ගුණසේකර (පත්කළ මන්ත්‍රී ශ්‍රීලනිප )-බන්දුල ගුනවර්දන -(කොලබ දිස්ත්‍රික මා එ පෙ මන්ත්‍රී )..එ නම් තාම මතකයි පත්තරේ ලියල තිබුනේ ඔය විදිහට .ඒවාට කොච්චර කිට්ටු උනාද කියනවනම් දන්නා කාලේ ඉදල මැතිවරණ දිනවල රෑ නිදි වරාගෙන ප්‍රතිපල ලියන්න පටන් ගත්තා ..1988.12.19 තිබුණු ජනාදිපතිවරණයෙන්
පටන් ගෙන හැම මැතිවරණයක්ම මන් ආවරණය කරා ..සිළුමිණේ ලස්සන කතාවක් ගියා .."වාලුකාවේ සිහිනය " කියල ..එත් මට කතාව සම්පුර්ණයෙන් කියවන්න බැරි උනා ..වික්ටර් අයිවන් ගේ රාවය ආසාවෙන් කියෙව්වා ..සුනිල් මාධව ගේ හිරු ලක්දිව පුවත් පත් වල ප්‍රබල සාමාජිකයෙක් උනා මම.හිරු පත්තරේ කාටුන් ඇන්දේ විමලසිරි ගම්ලත් හෙවත් අද විමල් වීරවංස..චින්තන ජයසේනගේ "කොලම "තීරු පත්තරෙත් මතකේ තියෙනවා ..රෝහණ කුමාර ගේ ත්‍රිශුලේ පුවත් පත ආන්දෝලනාත්මක පුවත් මැව්වා ..එ වගේම 1989-විනිවිද සහ 1992-රාජාලියා පුවත් පත් සමාජය උඩු යටි කුරු කරා ..
අද ගත්තොත්...
දෛනික පුවත් පතක් ලෙස "ලන්කාදිපයටත්
ශාස්ත්‍රීය පුවත් පතක් ලෙස "දිවයිනටත්
ඉරිදා පුවත් පතක් ලෙස "ලක්බිමටත්
කොළ වැඩි පුවත් පතක් ලෙස "සිලුමිනටත්
ආසාවෙන් කියවන පුවත් පතක් ලෙස "රිවිරටත්
ප්‍රබල පුවත් පතක් ලෙස" මව්බිම ටත් මම ප්‍රිය කරමි ..

Tuesday, October 2, 2012

ලගදි ගේන මනමාලි .............


අවිවාහකව සිටි අපි දන්නා අය්යා කෙනෙක් දවසක අපේ අක්කා කෙනෙක්ගේ ගෙදරට ඇවිත් අලුත්ම කතාවකට මුල පුරලා ..


"නංගී...මගුල ලොකුවට ගන්නේ නෑ..ඔය හෝටල් වල ලොකුවට පේන්න මගුල් කන්න ඕන නැනේ ..ඒ හින්දා ගෙදරම මගුල් ගේ ගන්නවා ..පෝරුව ගහන්න අර උඩහ අය්යට කියනවා ..ඒ අය්යා ලස්සනට වැඩේ කරලා දෙයි ..ජය මන්ගල ගාතා කියන්න ගමේ ඉස්කෝලේ ළමයි දෙතුන් දෙනෙක්ට කියනවා ..තොරණක් නම් ගහන්න වෙනවා ..මොකද මනමාලිගේ පැත්තේ අයට පේන්නත් එක්ක වැඩේ ජයට තියෙන්නත් එපාය ..මගුල් මුද්ද හදවන්න නම් තැන් දෙකක් තියෙනවා ,..එත්
නාගලිංගම් එකෙන් හදවනවා ..එතන මුදු හදන්න හරි ප්‍රසිද්ද තැනක් නේ .මාල හතේ වැඩේ නම් හරි ..තැල්ලකුත් දාන්න වෙයිනෙ නේද නංගී .කොහොමත් උඩරට විදිහට තමා අදින්නේ ...ඔය කලිසන් කෝට් හරියන්නේ නෑ අපිට ..මන් මහත හින්දා නිලමේ ඇදුම හොදට තියෙයි ..වීඩියෝ කරලා තේරුමක් නෑ ..ෆොටෝ ටිකක් නම් ගන්නවා..මගුල් ෆොටෝ එක ලක්ෂ්මන් එකට වඩා මල්ලිකා එකෙන් ගන්න එක හොදයි කියල අරහේ අය්යත් කිව්වා ..වෙඩින් කේක් එක හදන්න අර පල්ලෙහා නංගිට කියනවා ..දැන් ඔය කේක් හදන පන්තියකටත් යනවා කියන්නේ මේ ලගදි ඉදල ..කොහොමත් වැඩිය කාටවත් කියන්නේ නෑ ..ඔය අපේ ලගම නෑදෑයෝ ටිකටයි මගේ යාලුවෝ ටිකටයි විතරයි කියන්නේ ..වාහන තුනක්වත් කතාකරගන්න වෙනවා ..වෙඩින් කාර් එක අපේ ගම්පහ බාප්පලාගේ කාර් එක ගන්නේ. දෙවෙනි මනමාලය අපේ වසන්ත මල්ලි ..මට වඩා අගල් දෙකක් විතර කොටයි ...ගානට ඉන්නවා ..නැටුන් කණ්ඩායමක් හොයාගන්නත් වෙයි ..නෑ ඒක මනමාලිගේ පැත්තෙන්නේ ..."

අපේ අක්ක පලවෙනි ප්‍රස්නේ අහලා
"දැන් අය්යා කවුද ඔය මනමාලි ...?"
"ඒක තමා නංගී මන් මේ බැලුවේ..නංගී එහෙම දන්න ..කවුරුත් නැද්ද ඔය මට හරියන "

Monday, October 1, 2012

"ලක්ෂපති සහ කෝටිපති "

" සතර දේශයෙන් ඔබේ සවනට.. රස දෝතක් "
-සිව්දෙස fm -

 
බොහොම කාලෙකට කලින් 1996 විතර මමත් මගේ හොදම යාලුවෙකුත් අලුත්ම තාලේ වැඩක් පටන් ගත්ත .ඒ වෙද්දී සිරස රේඩිඕ හරි ජනප්‍රියයි ..අපිටත් ඕනේ උනා ගුවන් විදුලියක් පටන් ගන්න ..ප්‍රාදේශීයව...අපේ ගම ආශ්‍රිතව ..fm තරංගයක් සුසර කරගෙන හසු කරගෙන අපි වැඩේ පටන් ගත්තා ..අපේ ගුවන් විදුලිය සිව්දෙස fm .තව 'සතර දේශයෙන් ඔබේ සවනට රස දෝතක් ගෙනෙන සිව්දෙස fm " කියල ස්ලෝගන් එකකුත් එකතු කරා ..නම යෝජනා කරේ මම ..අපේ යාළුවගේ ගෙදර පුංචි කාමරේ තමා සිව්දෙස ගුවන් විදුලියේ මහා ගෙදර උනේ ..ටික දවසක් යද්දී ඒ කාමරේ "අපේ සින්දු පිරුණු පුංචි කාමරේ" උනා .අපේ ගුවන් විදුලියට කුළුණක් නැති උනත් එළියේවහලේ ලොකු යකඩ බටයක් සවි කරා ..කාමරේ පුරාම වයර් කැලි..කැසට් පීස්,,සෙටප් ..බෆල් ..පුංචි ශබ්ද පරිපාලන තව අඩුම කුඩුම විසිරිලා පැතිරිලා තිබුනා ..
විකාශය ආරම්බ උනා ..දවසකට විකාශන වාර දෙකක් විසුරුවා හැරියා ,..උදේ 9 සිට 12 දක්වාත් ..හවස 3 සිට 7 දක්වාත් සිව්දෙස විකාශනය උනා .ප්‍රදාන වැඩසටහන් අතර මුලින්ම සෙත් පිරිත් ..සරල ගී..නිවේදක තෝරයි..ප්‍රවුර්ති ..ගමේ පුවත් ..බයිලා ..ආදීය ප්‍රචාරය උනා ..මගේ යාළුවා ප්‍රදාන තාක්ෂණික සහ ශබ්ද
පරිපාලක ..මම සිව්දෙස ප්‍රදාන නිවේදක ..සිව්දෙස ගුවන් විදුලියේ මිනිස් සම්පත් විදිහට හිටියේ අපි දෙන්නා විතරයි ..අපි දෙන්න ගම පුරා ගිහින් ගෙවල් වල අයට
මේ ගැන දැනුවත් කරලා ..අපිම ගුවන් විදුලියේ fm සිව්දෙස මීටරේ සකස් කරලා එනවා ..
ඊට පස්සේ වැඩසටහන් පටන් ගන්නවා ..
කාමරේ රෝස පාට කොලේක ඒ ඒ දිනවල විකාශනය වන ගීත ලැයි ස්තුව එල්ලලා තිබුනා ..විසේසයෙන්ම ඒ ගී අතර තිබුනා රාජ් ගේ සිලි සිලි සිතල ඇල්ලේ,
මිල්ටන් ගේ සැදී රන් අබරණින් ,නාමල්ගේ රැ සිහිනේ , අමරදේවගේ කදුළු කතාවේ ,මාලනිගේ දෑසේ මල් විලේ බ්ලු සැ ඩොස් මිලාන්ගේ සොයා මා එනවා ,
ජයන්තගේ සමුගන්න අවසන් සිනාවෙන් ,රාජ් ගේ මේ සයුරු මානේ ,බැද්දගේ ගේ සසද සසද ,ක් ලැ රන්ස්ගේ කිරි සුදු සේලේ ,ආදී ගීත ..ඉංග්‍රීසි ගීත ත් ප්‍රචාරය උනා  ඒ අතර sacrifice .sealed  with a kiss .careless whisper ,wind of chenge ...හින්දි ගී අතර තේසාබ්,ලාද්ලා ..මොහොරා ..දිල් .ප්‍රේම් ආදී චිත්‍රපට  ගී දෙමල සින්දු අතරින් රෝසාපු ...ඔරු සනම් ආදී ගීත නිතර ප්‍රචාරය උනා.
කාලයක් යද්දී අපිට ඕනේ උනා සිව්දෙස තව තවත් ගමේ අයට සමීප කරවන්න ..අපි තවත් සාමාජිකයෙක් බදවා ගත්තා ,,අපි අලුතින් පටන් ගත්ත අසන්නන්ගේ ගී තිරය සදහා ..ගම වටේ ගිහින් ගෙවල් වල අය කැමති ගීත ත් ඒ අයගේ නමත් ලියන එන රාජකාරිය තමා එයාට පැවරුනේ ..
පොතක් පෑනක් අරන් උදේම ගම වටේ යනවා ..සමහරු නම් ලියල එවනවා ..සමහරු අපිට හොයාගන්න බැරි සින්දුත් ලියල එවනවා ..ඒ හිතා මතාම අපිව අමාරුවේ දාන්න ...සමහරු බනිනවලු ..වැඩක් නැත්නම් මල් හදන්න කියලා ..ටික දවසක් යද්දී අපේ සාමාජිකයා බැනුම් අහන්න බැරිම තැන අපිටත් නොකියම යන්න ගියා ..
ඒ නමුත් සිව්දෙස කාලයක් බොහොම සුන්දරව ඉදිරියට ගලා ගියා ..හදිසියේ නතර උනේ ප්‍රදාන නිවේදක හෙවත් මම විදේශ ගත වීම නිසා
සිරසේ නිමල් ලක්ෂපතිආරච්චි අපිට වැදගත් චරිතයක් උනා
ඒ හින්දම අපි දෙන්නත් ඒ නම දාගත්ත
මම "ලක්ෂපති'
යාලුවා "කෝටිපති "
"ලක්ශේ මොකක්ද අපි ඊලගට ප්‍රචාරය කරන ගීතය "මගේ යාලුවා  මගෙන් අහනවා ..
"ඔව් කෝටී..සිව්දෙසේ දැන් වෙලාව හරියටම හවස හතර පහුවෙලා විනාඩි හතළිහයි ..අපි අරලිය ළන්ද දිහාවේ යමු නන්දා මාලනියත් සමග"මගේ ස්වරය සිව්දෙස fm   ඔස්සේ ගුවන් තලාවට මුසු වෙනවා  ...........