Saturday, November 17, 2012

"උක්කුන් මහත්ති "



පුංචිම පුංචි කලේ ගමේ මගේ හොදම යාළුවා උනේ උක්කුන් මහත්ති ...නම පියලත් උනත් ගෙදර අය ගමේ අය ඔක්කොම කිව්වේ උක්කුන් මහත්ති කියල ..
මන් පුංචි කාලේ නිතරම එහෙට ගියා ..සෙල්ලම් කරන්න ...මට හොදට මතකයි මට සෙල්ලම් කරන්න ඕනෙම දේවල් ලගට දීල උක්කුන් මහත්ති ගෙදර දොරේ වැඩ කරනවා ..මට වඩා වසර දෙකකින් විතර වැඩි උනත් වත්තේ පිටියේ හැමදේම වගේ කරේ උක්කුන් මහත්ති ..එහෙ එල හරක් හිටියා ..එල හරක් ගාල නිතරම සුද්ද පවිත්‍ර කරේ උක්කුන් මහත්ති ..එල හරක්ට කැමට වල් කපන්න යන්නේ සරම කැහපට ගහගෙන දෑ කැත්ත අතේ තියාගෙන හරිම උජාරුවෙන් ..උක්කුන් මහත්ති හරිම කඩිසරයි
ගමන හරිම වේගවත් ..මමත් ඉතින් නිතර උක්කුන් ම්හත්තිගේ පස්සෙන් යනවා ..ඒ කරන හැමදේම දිහා බලන් ඉන්නවා ..එහෙ ගෙදරට පහල පුංචි තල් ගහක් තිබුනා ..එතන නිතරම සෙල්ලම් ගෙයක් හැදෙනවා ..කඩයක් හැදෙනවා ..එක එක කොළ ජාති කඩේ පුරවනවා ..එළවලු විදිහට ..සෙල්ලම් බත් හැදෙනවා ..කෝම් පිට්ටු විදිහට
විනාඩි කීපයකින් උක්කුන් මහත්තිට කතාකරනවා ..එක්කෝ වල් කපන්න ..නැත්නම් හරක් ලිහන්න නෑත්නම් හරක් බදින්න .."මන් ටක් ගාල එන්නම් කියල" යනවා .. ගිහින් ඇවිත් ආයේ ටික වෙලාවක් ඉන්නවා ..තල් ගහට මෙහායින් ලොකු ජම්බු ගහක් තිබුනා ..අපිට ගහට නගින්න බැහැ.ජම්බු වැටුනම අහුරු පිටින් සාක්කු පුරවා ගන්නවා ..දවසක් මට මතකයි උක්කුන් මහත්තිගේ අම්ම කිව්වා "අන්න අරහේ ඉස්ටෝරුවට ගිනි තියල දෙන්නම ගිහින් බලල එන්න "කියලා කිවා .'..එදා තමයි මමයි උක්කුන් මහත්තියි ගෙදරින් පිට ගියපු පලවෙනි දවස ..ඉතින් අපි දිව්වා ගමේ තියෙන තේ ගස් වලින් ගහන කන්දට ..කන්දේ ඉඳන් අපි දෙන්න ඇතම ඇත ඉස්ටෝරුව ගිනි ගෙන අහසට දුම් වලා පිට කරන හැටි බලන් හිටියා ..අපිට ඒ හැටි තේරුමක් තිබුනේ නෑ ..ඒ කළු ජූලිය .. සිංහල අය කෝප වෙලා ඒ තේ දළු ඉස්ටෝරුවට ගිනි තියල ..අපි දෙන්නම බියෙන් ත්රස්ත වෙලා අයෙත් දුවගෙන ගෙදර ආවා ..මන් දවසට දෙපාරක් විතර උක්කුන් මහත්තිලගේ ගෙදර ගියත් උක්කුන් මහත්ති අපේ ගෙදර ..ආවෙම නැති තරම් ..
ඔහොම කාලය ගෙවිලා ගියා ..මන් ගමේ ඉස්කෝලෙන් අර්ද නාගරික ප්‍රාථමික විදුහලකට ගියා ..ඊට පස්සේ ටිකෙන් ටික උක්කුන් මහත්තිලගේ ගෙදරය යන එකත් අඩු උනා ..ඊට ටික කාලයකට පස්සේ මන් අපේ මාමලාගේ ගෙදර සතියක් විතර නැවතිලා හිටියා ..ඒ දවස්වල එහෙ කුඹුරු වල වැඩ පටන් ගෙන ..ගොයම් නෙලන කාලේ ...මට අවුරුදු 9ක් දහයක් විතර ඇති මගේ හිතේ ..අම්මල එහෙම කට්ටිය ත් මාමලාගේ ගෙදර හිටියේ.. 
මට හොඳට මතකයි දවසක් කුඹුරු යාය මැද්දෙදි ගිනි කාෂ්ටක අව්ව වෙලාවක අම්ම කිව්වා ..
"අරෙහෙ උක්කුන් මහත්තියා පාචනේ හැදිලා ඉස්පිරිතාලේ අරන් ගිහින් ඕන් අද උදේ නැතිවෙලාලු..පව් .. ..අපේ පුතාගේ යාලුවා" කියල 

 ..මන් මොනවත් කිව්වේ නැ ..අහන් හිටියා විතරයි ..මන් කුඹුරු යාය මැද නියර උඩ වාඩිවෙලා ඉස්සරහ බලන් හිටියා ....කිසිම හැගීමක් නැතිව ඔහේ .. 
සතියකින් විතර තමා අපි ගමට ආවේ ...ඊට පස්සේ මන් කවදාවත් උක්කුන් මහත්ති දැක්කේ නෑ ..කාලයක් යනකම් මන් ඒ ගෙවල් පැත්තේ ගියෙත් නෑ ..
දැනුත් සිංහල අව්රුද්ද්ට එහෙම මන් එහෙට යනවා ,,ගිහින් ඉස්තෝප්පුවේ වාඩි වෙලා ඉස්සරෝම බලන්නේ පුංචියට රාමු කරලා තියෙන සුදු මල් මාලයක් එල්ලලා තියෙන මතකයක් පමණක් ඉතුරු උණු උක්කුන් මහත්තිගේ දිහා.................

No comments:

Post a Comment