Sunday, September 23, 2012

KS 11



ඉස්කෝලේ යන කාලේ KS 11 බස් එකේ මතකය ...
ඒ කාලේ අපි කිව්වේ අන්කල්ගේ බස් එක කියල ..බොහෝ වයසට ගිය අන්කල් තමා රියදුරු ..කොටු වැටිච්ච සරමක් සහ ලන්ගමේ කොළ පාටකාකි කමිසය හැමදාම ඇන්දේ ..
කොන්දොස්තර අන්කලුත් ඒ වයසම වගේ හැබැයි එයා ඇන්දේ නිල් පාට අත්දිග කමිසේ ලොකුවට අත් නවල දුඹුරු පාට දිග කලිසම ...දුවිලි වැදිච්ච මොකසිනෝ සපත්තු දෙකක් දාල හිටියේ හැමදාම ..අන්කල් බස් එකට නගින්නේ කට පුරාම බුලත් විටක් පුරවාගෙන ....
බස් එක අරන් යන්නේ බොහොම හෙමින්..ඉස්කෝලේ යන කාලේ යන්න බස් එකක් නැතිමනම් විතරයි අපි ඒ බස් එකේ යන්නේ ..මාතලේ බස් නොනවත්වා යන දවස් වලට අපිට අන්කල් දෙවියෙක් උනා ..KS 11 දෙවියන්ගේ වහනයක් උනා ..
අන්කල් බස් එක උදේ වරුවේ ආරම්බ කරලා නැවතුම් දෙකක් විතර යද්දී බුලත් විට කන්න පටන් ගන්නවා ..බුලත් විට හුණු දුම් කොළ ආදී අඩුම කුඩුම ඔක්කොම බස් එක ඉස්සරහ තියන් ඉන්නවා ..බුලත් කෙල ගහන්නත් බස් එක නතර කරනවා. පිටිපස්සෙන් එන හැම වාහනයකටම ඉස්සර වෙන්න ඉඩ දෙනවා ..වෙලාවක බස් එකෙන් බැහැල පයින් යන්න හිතෙනවා ..අන්කල් බස් එක අරන් යද්දී ඉස්සරහ විතරක් නෙවේ දෙපැත්තේ අවට පරිසර සිරියත් නරඹ නරඹ යන්නේ ..ඒ සිරිය මැදින් ඇත කුඹුරක නියරක් මැදින් කවුරු හරි ගමනක් යන්න එනවා දැක්කොත් බස් එක නතර කරන ඉන්නවා.සමහර වෙලාවට එහෙම එන කෙනා ලගට ඇවිත් අනිත් පැත්තට යන්නේ කියල කිව්වම ..අන්කල් හිනාවෙලා එහෙමද එහෙනම් අපි යනවා කියල බස් එක ස්ටාර්ට් කරනවා ...මිනිස්සුන්ට නගින්න බස් එක නතර කරලා කොන්දාස්තර අන්කල්ගේ බෙල් එකේ සද්දේ ඇහෙනකම් බස් එක යන්නේ නෑ.
අන්කල් ලා දෙන්නම හරිම විනයවත් ...කොච්චර සෙනග හිටියත් මිනිස්සු මග දාල යන්නේ නෑ ..කොන්දොස්තර අන්කල් "ටිකට්ස්" කියල කියන එක ඇහෙන්නේ  "කස්" කියලා ..වාර ප්‍රවේස පත්‍ර ගන්න කියල අපිට කියනවා .ඒක අරන් ලොකු කතිරයක් දානවා ..පළවෙනිදා නැග්ගොත් තිස් වෙනිදා දවසේ කෑල්ලකුත් අන්කල්ගේ කතිරේට යට වෙනවා ..ඒ තරම් ලොකුයි ඒ කතිරේ ..
බැටරි පෙට්ටිය උඩ වාඩි වීම තහනම් කියල බෝර්ඩ් ගහල තිබුනත් ඒක උඩ වාඩි වෙන්න අන්කල්ගෙන් කිසිම තහනමක් තිබුනේ නෑ ..එන්ජිම වට කරලා තිබුණු ලොකු බොනට්ටුවේ නිතර ලියල තිබුනා ..."ඔල්ටනේටරයක් සවි කර ඇත ,,සවි කල දිනය ...."..ඔන්න ඔහොම විස්තරයකුත් ..ගොඩක් දවස් වලට ඒ හරියේ දුම් පිට වෙනවා ..බස් එක ඉදිරි කන්නාඩි වල වැහි කටු තිබුනත් වැස්ස දවස් වලට වැඩ කරේ වැහි කටු වලින් එක වැහි කටුවක් විතරයි ..ඒත් බොහොම හෙමින් ..
Ks 11 (මහනුවර දකුණ 11)උනත් අපි නම් කිව්වේ
 (k ) කොටමින් (S ) සෙමින් 11 කියලයි
Ks 11 බස් එකේ ගමනාන්තය වෙද්දී හිරු රැස් දැඩි විදිහට පතිත වෙලා විතරක් නෙවේ ඉස්කෝලේ ගේට්ටුව ලග විනය පාලක තුමා ගැට පිරිච්ච වේවැලත් අතින් අරන් රැස් විහිදුවමින් ඉන්නවා ...

1 comment:

  1. ඒක දවසක් වත් විනය පාලක ගුරුතුමා ඒ බස් එකේ අවේ නැද්ද ?

    ReplyDelete