Wednesday, February 27, 2013

"සුදු දියමන්ති රාත්‍රිය "


එක දවසක් අපේ සහුර්ද කාන්ඩේ ගමේ මල ගෙදරක ගියා..ඉතින් ඒ දවස් වල මල ගෙවල්වල රෑ බෝ වෙනකම් ඉන්නවා ..නැත්නම් එලි වෙනතුරුම ඉන්නවා..කැරම් ගහනවා ..එක්කෝ කාර්ඩ් සෙල්ලම් කරනවා..නැත්නම් විහිළු රසාකර කතා බහේ යෙදෙනවා ..එදා මල ගෙදර තිබුනේ පාර අයිනෙම ගෙදරක ...පිට පළාත් වලින් වාහන වලින් ගොඩක් අය ඇවිත් හිටියා ..ඉතින් අපේ කොලු නඩේ හතර දෙනා පාරේ එහෙ මෙහෙ සැරි සැරුවා ...පාරේ ටිකක් උඩහ පැත්තට වෙන්න අදුරුම අදුරු තැනක අලුත් පහේ වෑන් එකක් නතර කරලා තිබුනා ..එක පැත්තක ජනේලයක් බාගෙට ඇරිලා තිබුනා ..අපි ටිකක් ඇහැ දාල බැලුවා ..අටවක හඳ රෑ අහසේ යන්තම් එළියක් විහිදුවනවා ...ඇතුලේ කවුරුත් නෑ ..ඒත් වයිට් ඩයමන්ඩ් බෝතලයක් තිබුණා ...බාගෙට ටිකක් වැඩියෙන් ඒ බෝතලේ තිබුනා ..අපිට ඉතින් ඕක මදෑ .....යාන්තම් හද එළියේ කලුවරේම අපේ හිතවතෙක් ක්ෂණයෙන්ම බෝතලේ ඩෑහැ ගත්තා ..ඒ කාලේ ඉතින් කොලු කාලේ නොවැ ..දැන් ඉතින් අපි හතර දෙනාම වයිට් ඩයමන්ඩ් වලින් සන්තර්පණය වෙන්නයි කල්පනාව ..ඉක්මනින්ම ගිහින් පාලු තැනක බෝතලේ හැංගුවා ...අමුවෙන් කිරි කන්න පුළුවන් උනත් අමුවෙන් කොහොමද වයිට් ඩයමන්ඩ් බොන්නේ ...දැන් අපේ කට්ටි රහස් සාකච්චා ...අවශ්‍ය අඩුම කුඩුම ගන්න ..සැන්ඩි වලට කොකා කෝලා ගන්න දාහක් දේ කරන්න ...ඉතින් මොකෝ කරන්නේ රෑ දහයත් පහුවෙලා ..ගමේ අපිට ටිකක් හිතවත් අය්යා කෙනෙක්ගේ කඩයක් තියෙනවා..මුලින්ම එයාලගේ ගෙදර ගිහින් ඒ අය්යවත් නින්දෙන් ඇ හැරවගෙන අපහු කඩේට ඇවිත් කොකා කෝලා ලිටරේ බෝතලයක් ගත්තා ...හපන්න තව රට කජු පැකට් එකක් ගත්තා ..ඒ පැකට් එක විතරමයි කඩේට තිබුණේ ...දැන් කෝලා ප්‍රස්නේ හරි .ඒත් බයිට් ප්‍රශ්ණයක් ..කඩෙන් බිත්තර වගයක් ගත්තා ..ඔම්ලට් හදන්න ..අපේ යාලුවෙක්ගෙ ගෙදරක ගියා බිත්තර ඔම්ලට් දාන්න ..අපි කඩේ අය්යටත් විස්තරේ කියලා ..වයිට් ඩයමන්ඩ් උගුරක් දෙකක් රස විඳින්න අපි එක්ක එකතුවෙන්න කිව්වා..ඒත් ගොඩක් රෑ වෙන හින්ද අපේ ඉල්ලීම හරිම දුකෙන් ප්‍රතික්ෂේප කරා ..කොහොමින් කොහොම හරි අපේ කට්ටිය බිත්තරත් ඔම්ලට් දාලා එකත් අරන් අනිත් අඩුම කුඩුමත් අරන් බෝතලේ හංගපු තැනට ගියා..දැන් රෑ දොළහත් පහු වෙලා ..කලුවරේම බෝතලෙත් අරන් අටවක සඳ යට කෙසෙල් පදුරක් ළග මද පවනේ සුදු දියමන්ති රස විදින්න ලක ලෑස්ති උනා ...කට්ටියම විදුරු වලට වයිට් ඩයමන්ඩ් එක්ක කොකා කෝලා මිශ්‍ර කරා ..මද පවනේ සුදු දියමන්ති අපිට මොනවා කරයිද කියල බයකුත් තිබුනා ..එක අතක බිත්තර ඔම්ලට් කෑල්ලක් අනිත් අතේ සුදු දියමන්ති..බොන්න කලින් අපේ යාලුවෙක් කිව්වා "මචන් අර කඩේ අය්යටත් අපි එක්ක එන්න තිබුනනේ නේද ..ඒත් උට කොහෙද අපිට වගේ වාසනාවක් නේද ..එහෙනම් ගත්තා මචන්... චියර්ස් .."..උගුරට දෙකට හලා ගත්තා ..අපි හතර දෙනාම මූණෙන් මූන බලාගත්තා ..."මචන් කඩෙ අය්යත් ආවනම් කොහොමද ???"කොකා කෝලා රස විතරක් ඇග පුරාම කැලතුනා

Saturday, February 23, 2013

"නමාමි සිරි දළඳා "


"ලෝකෙක නාථා වදනන්"
...

ශ්‍රී දළදා වහන්සේ නමදින ගාථාවේ මුල ..
නුවර ඉද්දි මගේ සිරිතක් දෙසතියකට සැරයක්වත් දළදා වහන්සේ වන්දනා මාන කරන එක ...බොහොමත්ම දවස් වල හිමිදිරි උදැසනම ..දළදා වහන්සේ වැද පුදා ගත්තම පුදුම තරම් ශාන්තියකින් හිත පිරෙනවා..දළදාව වදින්න යන දෙපස තණ පත්‍ර
සිහින් පිනි බින්දු වලින් පිරිලා..උදා ලා හිරු කිරණ මාලිගාව අවට රටාවකට අතුරලා ..කහ මලින් විකසිත උණු තුරු ලතා දෙක තුනකින් වට කහ මල් පියවිලි තැනින් තැන .. හීන් හිමිදිරි සිහින් මද නල හා මුසුව බෝගම්බර වැව් කොමළියේ රැළි තරංග වලා කුළු බැම්ම හා මුසුව දිය වියන් මව මවා හැපි හැපී බිඳෙනවා ..එහා පිහිටි පත්තිනි දෙවොලේ මිදුලේ ඇතෙක් දෙන්නෙක් කිතුල් කොට රස විදිමින් එහා මෙහා නැළවෙන්නේ අපුරු විදිහකට ...මාලිගාව පරිශ්‍රයට ඇතුල් වෙන වාහල් කඩ ලගම පහල තියෙන දිය අගලේ පුංචි පුංචි මාළු රෑන් බලා ඉන්නේ ඉහලින් විසිවෙන පොරි දියට වැටෙන තුරු වගේ ...වලාකුළු බැම්ම පසු කරලා පහත මහලයේ කිරි දානේ එහෙම අහවර වෙලා ..පවත්වන උදෑසන තේවා ව ...තේවා හඩ මාලිගාව සිසිරා විසිරෙද්දී දැනෙන ධාර්මික සංජානනය ...කෙතරම්ද ..තවත් පිය ගැට පේලි දෙකක් පසු කල විට උඩ මලුව ...පරම පුජනිය දළදා වහන්සේ වැඩ ඉන්න සුපින්බර උඩ මලුව ..උවැස උවැසියන් පේලි ගැසී දළදා නමස්කාරයට පේ වෙන අයුරු ..දළදා වහන්සේ වැඩ ඉන්න සුගන්දිත ස්වර්ණමය කුටියේ ..නිසලව වැඩ ඉන්න දළදා කරඩුව ...දන්ත දාතුන් වහන්සේ ...දුටු විටම ඇති වෙන බුද්ධාලම්බන ප්‍රීති ප්‍රමෝදය වචනයෙන් විස්තර කල නොහැකි තරම් ...උඩ මළුවේ මල් අසුන පිරෙන්නම සුවදවත් මලින් සැරසිලා ...සුදු නෙලුම් රතු නෙලුම් ..නිල් මහනෙල් සමන් පිච්ච ආදී නෙක මල් දළදා වහන්සේ සුවදවත් කරන්නේ තරගයකට වගේ ..මළුවේ බිම වාඩි වෙලා දළදා වහන්සේ වැඩ ඉන්න දිහා බලා ගෙන වන්දනා මාන කරලා ...ටික වෙලාවක් දෙනෙත් පියන් ඉද්දි දැනෙන නිරාමිස සතුට කෙතරම්ද ...වැටෙන හුස්ම පවා කෙතරම් පවිත්‍රද ...මැවෙන බැති බර සිතුවම් කෙතරම් ශික්ෂා කාමිද ...පහළ පිටතින් පිහිටි පහන් වැට අද්දර කපුරු හදුන් මිශ්‍රිත සුවඳත් එක්ක බලාපොරොත්තු අපේක්ෂා මුදුන් පත් කර ගැනීමේ නොතිත් ආසාවෙන් දැල්වූ පහන් ආලෝකයන්ද තැනින් තැන දිස් වෙනවා ..ඒ අසලම පිහිටි දළදා කරඩුව බොහොම ආඩම්බර ලීලාවෙන් ද උතුම් බහුමානයෙන්ද ඇසළ පෙරහැරේ වීදි පුරා වැඩම කර වූ රාජා ඇත් රජුගේ පිලි රුව පිහිටි කුටිය දිස් වෙනවා ...ඊට මදක් ඉහලින් විෂ්ණු දෙවොල ..පහල ඉදිරියෙන් නාථ ,සමන් ,පත්තිනි දෙවොල් දළදා වහන්සේට ලගින්ම පිහිටලා...
මෙලොව මා කෙතරම් වාසානවන්තද......
පින්සාර පුද බිමක බුදුන් වහන්සේගේ මහානුභාව සම්පන්න ..ජීවමාන දන්ත ධා තුන් වහන්සේ නෙත් මතින් දකින්නට ..

Tuesday, February 19, 2013

"කහ සාලුව"


බොහොම ඉස්සර දහම් පාසල් යන කාලේ බක් මාසේ මුල් සතියක අපේ කට්ටියම පොඩි වන්දනාවක එක්ක ගියා ..
අනුරාධපුරේ ..අපේ ළමයි කට්ටිය වගේම ප්‍රදානාචාර්ය තුමා ඇතුළු ගුරුවරු කීපදෙනෙකුත් ගමනට සහ භාගි උනා ..
දවල් කෑමට පෙර අපේ පිරිමි ළමයි පාර්ශවේ අයට වැවකින් නාන්න වුවමනා උනා ..කට්ටියගේ ඒකමතික කැමැත්ත අනුව ලගම තිබුණු " නුවර වැවට"අපේ වාහනේ කිට්ටු කරා ..අපේ කොලු රෑන වාහනේ නතර කරපු ගමන්ම කෙලින්ම දිව්වේ වැවට ...ගැහැණු ළමයි කවුරුත් ආවේ නැ ...අපේ නඩේ කාටවත් පිහිනන්න බෑ ....අපේ ප්‍රදානාචාර්ය තුමා ඇතුළු තව එක ගුරුවරයෙක් ආවා අපි එක්ක ..ඒත් දැන් වතුරට බහින්න පෙර ලොකු දේශනයක් දුන්නා ..වැඩිය ඇතට යන්න එපා කියලත්.. වැව අයිනෙන්ම නාන්න කියලත් .. ඉතින් ඒ දේවල් වලට අනුගතව අපේ කට්ටිය නාන්න ලක ලෑස්ති උනා ..අපේ ප්‍රදනාචාර්ය තුමා කහ පාට ටවල් එකක් (සාළුවක් ) ඇදගෙන නුවර වැවේ අපි එක්ක නාන්න එකතු උනා ..අපිට කිව්වා "ළමයි ඔයගොල්ලෝ මන් සාළුවක් ඇදගන නාන්න ආවට .. ඔය ළමයි එහෙම සාලු ඇදගෙන නාන්න එන්න එපා..කලිසම් ෂෝට් ඇදගෙන එන්න "කිව්වා..අපිත් ඉතින් ඒ විදානේ අනුව කලිසම් ඇදගෙන නුවර වැවේ වතුරේ සිහිල වින්දා .ටිකක් වතුරේ ඇතට ම වෙන්න හිටියේ ප්‍රදානාචාර්ය තුමා . .අපේ පොඩි හිත් සතුටෙන් ඉපිලෙමින් කෑ කෝ ගහමින් වතුරේ අසිරිය වින්දා ...පැයක් විතර නුවර වැවේ කිමිදී කිමිදී හිටිය අපිට එක පාරම ප්‍රදනචාර්ය තුමා නියෝග දුන්නා .."ළමයි දැන් ඇති ගොඩට යන්න ..වෙලා ගියා "කියල..අපි ඒ නියෝගේ පැහැර හැර විනාඩි කීපයක් හිටියත් අපිට තදින් අවවාද කරා "ළමයි ගොඩට යනවලා " කියල...අපේ කට්ටිය දුවගෙන එන්න අවා..මගට ඇවිත් නිකමට වගේ අයෙත් ලස්සන නුවර වැව දිහා බැලුවා..එතකොට යාන්තමට වගේ දැක්ක ...නුවර වැවේ දිය තරංගත් එක්ක ඈතම ඈත කහ පාට සාළුවක් පා වේවි යනවා..

Saturday, February 16, 2013

"නෙලුම් වැව අසබඩ "


දවසක් අපේ යාලුවෝ කට්ටියක් අනුරපුරේ ට්‍රිප් එකක් ගියා ..එදා රාත්‍රී නවාතැන මිහින්තලේ මගේ හිතවත් මිත්‍රයෙකුගේ
ගෙදරක් ..එදා රෑ වෙලා අපි මිහින්තලාව වන්දනා මාන කරන්න ගියා ..ඒ ගිහින් ඇවිත් රාත්‍රී ආහාර වේල එහෙම සප්පායම් වෙලා නිදාගන්න බැලුවා ..අපේ කාන්ඩේ ඔක්කොම තීරණය කරා .අපේ යාලුවගේ ගෙදර එළියේ මිදුලේ නිදාගන්න ..කොට්ට මෙට්ට එළියේ එළලා සකස් කරලා අපේ දහ දෙනාම නිදා ගත්තා ..ඒ මිදුල සුදු වැලි සහිත මිදුලක්...හරිම පිළිවෙලට අතු පතු ගාල තිබුණු ...ඊට ඉහල තියෙනවා පුංචි ගල් තලාවක් ...ඒ ගල් තලාවේ දඩු මොණරු නිතර එහෙ මෙහෙ සැරි සරනවා ..ගල් තලාවත් එක්කම පුංචි වැවක් තියෙනවා ,,නෙලුම් වැව කියල ...සුදු නෙලුම් අහුරු පිටින් පිපෙන වා ඒ නෙලුම් වැවේ ..නැගෙනහිර දිසාවේ ...මීටර් දෙසීයක් විතර ඈ තින් මහා කනදරාව වැව ...අපේ යාලු මිත්‍ර සමාගම ටික වෙලාවක් යන තුරු නින්ද එනතුරු ආගිය පරණ මිහිරි මතකයන් කතා කරමින් හිටියා ...එහෙම ඉද්දිම එකා දෙන්නට නොදැ නිම නෙතු පියන් යට නින්ද තුරුළු උනා..මිදුලේ එක පැත්තක දිවුල් ගස් දෙක තුනක් ...ඊට එහායින් ලොකු සියඹලා ගහක් තියෙනවා ..සියඹලා ගහේ අතු දෙක තුනක් අපි නිදන් හිටිය තැනට ඉහලින් රාත්‍රී සෙවන සැලසුවා ..මිදුලේ කවාකාරව සකසල තිබුණු මල් පාත්තියේ ...දහස් පෙතියා මල් ...කැලෑ රෝස මල් ආදී නොයෙක් වර්ගයේ මල් හිටවලා තිබුනා ..නිදන් හිටිය දෙනෙත් මායිමේ ඈතින් මිහින්තලා පුද භුමියේ ආලෝක රැස් දහරාව ශාන්තිමත් හුස්මකින් හදවත පුරවනවා..අහස් ගඟ නිසොල්මනේ ...පුන් පුරා සඳ මිහින්තලා මුදුනතත් එක්ක පෝය සංවාදයේ
යෙදිලා උන්නා වගේ කියලයි මට හිතුනේ..අහස සිසාරා තරු පොකුරු රංචු අත් පටලන් සුරගන ලොවක මනරම් සිරි මවන්නට ලොකු උත්සාහයක ...එදා රෑ අහසේ දඩයක්කාරයාගේ තරු මණ්ඩලේ අහස අරක් ගෙන තිබුනා ...සුදු නෙලුම් වැව ඉස්මත්තෙන් ගලා ආ සීත සුවැති මදනළ ගත කුල්මත් කරමින් මිහින්තලා අඹ සෙවණ දිසාවට හමා ගියා ..වට පිටාවේ කිසිම හැල හොල්මනක් නෑ ..සෞම්‍ය චමත්කාරජනක රාත්‍රිය කෙමෙන් පහන් වෙන අයුරක් ..සමන් පිච්ච මල් සුවදක් මද නලත් එක්ක ආදරණීය ව නාස් පුඩු වට කරා ..උදා හිරු කිරණ මිහින්තලා රුක් මත හැපෙමින් අලුත් දවසක උදාව සනිටුහන් කරා ...උදේ දහයේ කණිසමට ජිවිතේ නිදාගත්ත සුන්දරතම නින්දට සමු දුන්නා ..

Tuesday, February 12, 2013

"සිරිපාදේ සමනල තරු දිලිහේ "


"සකල සතම බොදු බැතියෙන්" .. මොහිදින් බෙග් කියන ඒ ගීතය එක කාලෙක හවස් වරුවන් පුරා එක දිගට ප්‍රචාරය උනා ..එක එක කාලෙට එක එක ගම්වල එක එක අනුරුවවල් හදනවා .පොසොන් කාලෙට මිහින්තලා අනුරුව ..තව අපායවල් ...ඔය ආදී නොයෙක් දේවල් ..අපේ ගමේ එක සැරයක් හැදුවා ...සිරිපාද අනුරුව ...එහෙමත් නැත්නම් සමනොළ කන්දේ අනුරුව ...එක යායට දික්ගැහිලා තියෙන වෙල් යාය මැද තිබුණා ලොකු ගහක්.. ඒ ගහට තව තව ලි ..එකතු කරලා පඩි පෙළවල් හදල...කළු ඉටි රෙදි වලින් වට කරලා සමනල් කන්දේ අනුරුව නිර්මාණය කරලා තිබුනා ..වෙල් යායට එහා පුංචි දොළ පාරක් ගලනවා ..ඒ තමා සීත ගගුල ,,,සමනල කන්දට ඇතුල් වෙන තැන ප්‍රවේශ පත්‍ර කවුළුවක් තිබුනා..මුලින්ම කන්ද තරණය කරලා ටිකක් උඩට යද්දී රාක්ෂ බවනක් තිබුනා ,..එතන අපේ යාලුවෙක් ..යකෙක් විදිහට වෙස් වලාගෙන ...හිටියා ..තව මැද හරියේ.. ඉදි කටු පාන ..මගින් මගට ප්‍රවේශ පත්‍ර පරික්ෂා කරන කොල්ලෝ කුරුට්ටු කීප දෙනෙකුත් හිටියා ..ගහේ මුදුන ...එහෙමත් නැත්නම් සිරිපාදේ අනුරුවේ ඉහලම ..උඩ මලුව ..සිරි පතුලකුත් හදල තිබුනා ..ලොකු ඝන්ටාරෙකුත් සවි කරලා තිබුනා ..එක පැත්තක ..ඒ වගේම උඩ මළුවේ ..අපේ ගමේ වැඩිහිටි කෙනෙක් සුදු කමිසයක් සහ සුදු සරමක් එහෙම ඇදගෙන කපු මහත්තයෙක් විදිහට හිටියා ..එයා .සිරිපාදේ කරුණා කරලා උඩ මළුවට එන හැමෝගෙම නළල පඩුල්ලනවා ...බල්බ් එහෙම දාල තිබුන නිසා හරිම චිත්තකර්ශනියව ඇතට බැබළුණා ..දින පහක් පුරා සිරි පාදේ කරුණ කිරීමේ හැකියාව තිබුනා ..අපි සංවිදායක මණ්ඩලේ අය අහල ගම් රාශියකට ගිහින් නිවේදන කටයුතු කරා..දැවැන්ත පෝස්ටර් වලින් සිරිපාදේ ගැන විස්තර දැනුම් දුන්නා .. රාත්‍රී අටේ සිට පසුදා පහන් වන තුරු සිරි පදේ කරුණා කරන්න පුළුවන් ..අපි නොසිතු විදිහට සෙනග එක් රොක් උනා ..මට භාර වෙලා තිබුනේ නිවේදන කටයුතු ..ප්‍රදාන නිවේදක මම ..නිවෙදනකුටිය තුල හිටියේ ප්‍රදාන සංවිදායක මණ්ඩලේ උදවිය ..කුසුම් බදුන් වෙන්දෙසියකුත් ඒ අසලම තිබුනා ..විරිදු සුරල් වයන්න කෙනෙකුත් ඇවිත් හිටියා.. සිරි පාදේ බොහොම ඉහලින් කට්ටිය අගය කරා ..සමහරු දෙපාරක් තුන් පාරක් ඉහලට නගිනවා ..නිවේදන කටයුතු කරද්දී ශ්‍රී පාද අනුරුව හදපු ප්‍රදාන නිර්මාණ ශිල්පියා ..(මගේ හිතවත් යාලුවෙක් ගේ තාත්ත කෙනෙක්)..එතුමත් බොහොම උජාරුවෙන් මන් නිවේදන කටයුතු කරපු තැනට වෙලා අසුන්ගෙන හිටියා..අවසන් දින දෙකේ ..නරඹන්නන් ගොඩක් වැඩි උනා ..මගෙත් නිවේදන කටුතු බොහොම ප්‍රවේගවත් උනා.."යන්නම් මදාය නදියා" කියන සිරි පාද නමදින ගාථාවෙන් පස්සේ ..මන් යකඩ කටින් "ඉහල නගින මේ නඩේට "..කියද්දී ..සමනල කන්ද තරණය කරන සියලු දෙනා.."බුද්ධං සරණේ සරණයි "..කියල කියනවා ..මන් .."පහල නගින මේ නඩේට" කියද්දී ..ඇතින් සමනල මුදුනේ කටහඩවල් වලින් ඇහෙනවා .."දම්මන් සරණේ සරණයි" කියල ..හරිම අපුරුයි ...කවිත් කියවෙනවා ...."බුද්දන් සර..............ණේ ............"කියද්දී නගින හැමෝම .."සිරස දරා...............ගෙන .."කියල කියනවා...තව "ඉහල නගින කිරි කෝඩුට" කියලා මන් නිහඩ උන ගමන් උඩ මලුව පැත්තෙන් ඇහෙනවා ..."බුද්දන් සරණේ සරණයි" කියල. තනිකරම එතන සිරි පාද සිරියක් ගත්ත..ප්‍රදාන සංවිදායක තුමා මට නිතර කියනවා .."පුතා..කියන්න පන්සියක් නෙවේ පන්දාහක් උනත් ඔරොත්තු දෙනවා මේ සිරි පදේ ..බයවෙන්න එපා "කියන්න ..ඔය ආදී නොයෙක් දේවල්..මමත් ඉතින් ඔය කතාව නිතර කිවා..."පන්සියක් නෙවේ පන්දාහක් උනත් ආරක්ෂිතයි ඔරො ත්තුයි.." කියල.. ... ...සිරි පාදේ අන්තිම දවසේ සෙනග රැස් කමින් සිරි පාදේ කරුණා කරන්න .පාන්දර එක විතර වෙද්දී උඩ මලුව පිරෙන්න සෙනග ..මගේ හඩ රැව් දෙනවා "වෙල් යාය සිසාරා..සිරි පාද සිසාරා ....මෙන්න එක පාරම උඩ මලුව කඩා ගෙන වැටුනේ නැද්ද ..කට්ටිය ඔක්කොම කෑ ගහන්න පටන් ගත්තා ,.."අපි ඉතින් සන්සුන් වෙන්න-- කලබල වෙන්න එපා" කියල කිව්වා ..කීප දෙනෙක්ට තුවාල උනා ..ලොකු අනතුරක් උනේ නෑ.. එතනින් සිරි පාදේ කටයුතුත් අහවර උනා.. බරපතලම තුවාල වෙලා තිබුනේ අපේ උඩ මළුවේ හිටිය කපු මහත්තයට ...අන්තිමට එයා කිව්වා ..අයෙනම් දේවාලෙකවත් පඩුල්ලන්න යන්නේ නෑ" කියලා ,,අපේ යාළුවගේ තාත්තා කිව්වේ "සිරි පාදෙට තරහ කාරයන්ගෙන් වස් වැදුනා" කියලයි ..අන්තිමට හොඳම දේ උනේ මට ...මොකද මම නෙ යකඩ කටින් කෑ ගහමින් උදාරම් බස් තෙපලුවේ ..ගමේ ඔක්කොම මන් දැක්කම //"පන්සියක් නෙවේ පන්දාහකට උනත් ඔරොත්තුද මල්ලි // කියල මගෙන් අහන්න පටන් ගත්ත නොවැ ...අන්තිමට සිරි පාදේ සමනල තරු දවලුත් මට පෙනුනා ..

Sunday, February 10, 2013

"මද්දුම බණ්ඩාර" .....


පන්සලේ එක එක කාල වල එක එක නාට්ටිය පෙන්වනවා ..එදා පෙන්නුවේ වීර මද්දුම බණ්ඩාර කතාව ..හැන්දෑ කොරේ ඉර ගල වැටුනට පස්සේ ඉතින් නාට්ටිය රග දැක්වීම පටන් ගත්ත ,,නාට්ටියේ අවසන් හරිය ..වෙදිකාවේ ලොකු බණ්ඩාර ..මද්දුම බණ්ඩාර ,,වගේම වධකයත් පැත්තකට වෙලා ඉන්නවා .. ..නාට්ටියේ උද්වේගකර අවසථාව..බලන් ඉන්න අයගේ නෙතගට කදුළු උනන අවස්ථාව ..මද්දුම බණ්ඩාරගේ වීරත්වය පෙන්වන අවස්ථාව ...වධකයා කඩුවත් අරන් ලොකු බණ්ඩාරගේ ගෙල සිඳින්න උත්සහ කරන අවස්ථාව ...ලොකු බණ්ඩාර බියෙන් හැකිලෙද්දී කුඩා මද්දුම බණ්ඩාර ...ඉදිරියට ඇවිත් අර වීර ප්‍රකාශය කරනවා .."අය්යන්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වමි" කියල ...සුළු මොහොතකින් වධකයා මද්දුම බණ්ඩාරගේ ගෙල සිදිනවා නට්ටියානු කාර ආකාරයෙන් ..බලන් ඉන්න අය මීයට පිම්භාක් වගේ ඇහි පිය නොගහ බලන් ඉද්දි එක පාරම ප්‍රේ ක්ෂකාගාරයේ මැ ද හරියෙන් පොඩි කොලුවෙක් කෑ ගහන්න පටන් ගත්ත නොවැ ..
"ආන් අරු අපේ පොඩි අය්යාගේ බෙල්ල කැපුවෝ" ,,කියල..කට්ටිය දැන් කලබලවෙලා .. හිනා ගෝට්ටියයි .. පොඩි එකා මර ලතෝනි දෙනවා....දැන් ඉතින් නා ට්ටියත් අතර මග නතර කරා..පස්සේ ඒ පොඩි ළමයාගේ අම්මයි බලන් ඉන්න අ යයි කිව්වා.."ඒ ක මේ බොරුවට කරන්නේ ...ඇත්තට නෙවේ" කියල...කොහොම හරි පොඩි ළමයාගේ ඇඩියාව නතර උනා ..නාට්ටිය අපහු කරගෙන ගියා ..මද්දුම බණ්ඩාරගේ මරණින් පස්සේ ලොකු බණ්ඩාරගේ ගෙල සිදින වා ,,,අයෙමත් අර පොඩි එකා කෑ ගැහුවේ නැද්ද .."අන්න අරු ඒ පාර අපේ ලොකු අයියටත් බෙල්ලට කෙටුවෝ " කියල ...ඉතින් වේදිකාව තිරේ වැහිලා මද්දුම බණ්ඩාර එතැනින්ම අහවර උනා ..මද්දුම බන්ඩා රටයි..ලොකු බණ්ඩාරටයි හිටියේ එකම පවුලේ අය්යා මලෝ දෙන්නෙක් .. .අන්තිමට වීර මද්දුම බණ්ඩාර හිනා බණ්ඩාර උනා ...

"ඉස්පන්චි පුංචි "


මේ ඉස්පැනිෂ් සින්දුවක් නම් නෙවේ ....
දවසක් අපේ නෑ දෑ වෙන කට්ටියකගේ හදිසි මල ගෙදරක් වෙලා තිබුන..අපේ නෑදෑ වෙන අය්යා කෙනෙක් පිට රටකදී හදිසියේ ජිවිතෙන් සමු අරන් තිබුනා ..ඉතින් අපි කට්ටියම මෘත දේහය ගේන්න කටුනායක ගියා ...අපි පිරිමි පාර්ශවයේ හය හත් දෙනෙක් ගමනට සහභාගී උනා ..අපි එපා කියද්දීම වගේ නැති උණු අය්යගේ අම්මත් මේ ගමනට සහභාගී උනා..මොනවා කරන්නද ඉතින් ....
අපිත් එක්ක ඒ පුන්චිත් ගමට සහභාගී උනා ..දවල් 12 විතර වෙද්දී අපි කටුනායකට ගිහින් ගුවන් තොටුපලේ ඇවසි දේවල් කර ගෙන මෘත දේහය බාරගත්ත ...
ඉතින් අපේ කට්ටිය දැන් අපහු නුවර බලා එනවා ...හවස 3 විතර උනා ...කට්ටිය ඔක්කොටොම වගේ හරියට බඩගිනියි ..රියදුරු තැනට කියල වරකපොලදී පාරේ අයිනේ හෝටලයක් ගාව නතර උනා ..බඩ පුරවා ගන්න ..අපේ පුංචි ඉතින් අපිට විරුද්දව හඩ නගනවා ,,,මේ වගේ ;වෙලාවක මොන කැමක්ද කියල ...කොහොමින් කොහොමහරි බලෙන් වගේ එයාවත් වත්තන් කරගෙන හෝටලේ ඇතුලට ගියා ..අපි ඔක්කොම ලොකු මේසයක් වටේ වාඩි උනා...සියල්ලන්ගේම කැමැත්ත පරිදි ඉදි ආප්ප
මේසෙට පැමිණියේ කිරි හොදි මාළු ..පරිප්පු හොදිද සමගින් ...අර පුංචි කන්න බෑ කියල උපවාසයේ ..ඉතින් අපි මොකුත් කියන්න ගියේවත් බල කරන ගියේවත් නෑ ..අපේ කට්ටිය බඩ කට පිරෙන්න කනවා ..."මේ අය්යා තව මාළු හොඳි ගේන්න "කියමින් හෝටලේ වෙටර්ටත් කරදර කරනවා..අපේ පුංචි දැන් කට්ටිය දිහාම මුණ ලේන්සුවෙන් වහගෙන රවාගෙන හොරෙන් බලනවා ..අපිත් වැඩිය බැලුවේ නෑ .බයටම වගේ ..එක පාරම ඒ පුංචි "උඹල මට ඉස්පන්චියක්වත් කන්න කියන නැද්ද යකුනි " කියල ඇහුවේ නැද්ද ...අපි එක්ක හිටිය වැඩිහිටි කෙනෙක් ..."ආ ඉන්න ඉන්න" කියල .."මේ වේටර් මල්ලි ඔය ඉස්පන්චි ගෙන්න" කියල පණිවිඩේ යැව්වා ..වේටර් ඉතින් ඉක්මනින්ම ඉස්පන්චි මේසෙට ගෙනත් තිබ්බ ..අපි ඔක්කොම කිව්වා .."කන්න කන්න" කියල ..ඊට පස්සේ කදුළු එහෙම ලේන්සුවෙන් පිහ දාල ඉස්පන්චියක් ටිකක් අතින් ඔබල ...මේ "ඉස්පන්චි කන්න පුලුවන්ද යකුනි ඉදි ආප්ප ඉවරද?" ...කියල ඉදි ආප්ප කන්නම් කියල ඉදි ආප්ප කැවා ..ඉතින් අපිටත් ගොඩක් සතුටුයි පුන්චිත් බඩගින්නේ ඉන්නේ නැතිව අපිත් එක්ක දවල් කැමට සහභාගී වීම ගැන ...මල ගෙදර වැඩ කටයුතු එහෙම අහවර වෙලා ...ටික කාලෙකට පස්සේ..අදටත් " ඉස්පන්චි පුංචි" කියද්දී ඉතින් පුංචි ගෙන් හොඳ හොඳ වචනත් අහගන්න පුළුවන්