Sunday, September 23, 2012

KS 11



ඉස්කෝලේ යන කාලේ KS 11 බස් එකේ මතකය ...
ඒ කාලේ අපි කිව්වේ අන්කල්ගේ බස් එක කියල ..බොහෝ වයසට ගිය අන්කල් තමා රියදුරු ..කොටු වැටිච්ච සරමක් සහ ලන්ගමේ කොළ පාටකාකි කමිසය හැමදාම ඇන්දේ ..
කොන්දොස්තර අන්කලුත් ඒ වයසම වගේ හැබැයි එයා ඇන්දේ නිල් පාට අත්දිග කමිසේ ලොකුවට අත් නවල දුඹුරු පාට දිග කලිසම ...දුවිලි වැදිච්ච මොකසිනෝ සපත්තු දෙකක් දාල හිටියේ හැමදාම ..අන්කල් බස් එකට නගින්නේ කට පුරාම බුලත් විටක් පුරවාගෙන ....
බස් එක අරන් යන්නේ බොහොම හෙමින්..ඉස්කෝලේ යන කාලේ යන්න බස් එකක් නැතිමනම් විතරයි අපි ඒ බස් එකේ යන්නේ ..මාතලේ බස් නොනවත්වා යන දවස් වලට අපිට අන්කල් දෙවියෙක් උනා ..KS 11 දෙවියන්ගේ වහනයක් උනා ..
අන්කල් බස් එක උදේ වරුවේ ආරම්බ කරලා නැවතුම් දෙකක් විතර යද්දී බුලත් විට කන්න පටන් ගන්නවා ..බුලත් විට හුණු දුම් කොළ ආදී අඩුම කුඩුම ඔක්කොම බස් එක ඉස්සරහ තියන් ඉන්නවා ..බුලත් කෙල ගහන්නත් බස් එක නතර කරනවා. පිටිපස්සෙන් එන හැම වාහනයකටම ඉස්සර වෙන්න ඉඩ දෙනවා ..වෙලාවක බස් එකෙන් බැහැල පයින් යන්න හිතෙනවා ..අන්කල් බස් එක අරන් යද්දී ඉස්සරහ විතරක් නෙවේ දෙපැත්තේ අවට පරිසර සිරියත් නරඹ නරඹ යන්නේ ..ඒ සිරිය මැදින් ඇත කුඹුරක නියරක් මැදින් කවුරු හරි ගමනක් යන්න එනවා දැක්කොත් බස් එක නතර කරන ඉන්නවා.සමහර වෙලාවට එහෙම එන කෙනා ලගට ඇවිත් අනිත් පැත්තට යන්නේ කියල කිව්වම ..අන්කල් හිනාවෙලා එහෙමද එහෙනම් අපි යනවා කියල බස් එක ස්ටාර්ට් කරනවා ...මිනිස්සුන්ට නගින්න බස් එක නතර කරලා කොන්දාස්තර අන්කල්ගේ බෙල් එකේ සද්දේ ඇහෙනකම් බස් එක යන්නේ නෑ.
අන්කල් ලා දෙන්නම හරිම විනයවත් ...කොච්චර සෙනග හිටියත් මිනිස්සු මග දාල යන්නේ නෑ ..කොන්දොස්තර අන්කල් "ටිකට්ස්" කියල කියන එක ඇහෙන්නේ  "කස්" කියලා ..වාර ප්‍රවේස පත්‍ර ගන්න කියල අපිට කියනවා .ඒක අරන් ලොකු කතිරයක් දානවා ..පළවෙනිදා නැග්ගොත් තිස් වෙනිදා දවසේ කෑල්ලකුත් අන්කල්ගේ කතිරේට යට වෙනවා ..ඒ තරම් ලොකුයි ඒ කතිරේ ..
බැටරි පෙට්ටිය උඩ වාඩි වීම තහනම් කියල බෝර්ඩ් ගහල තිබුනත් ඒක උඩ වාඩි වෙන්න අන්කල්ගෙන් කිසිම තහනමක් තිබුනේ නෑ ..එන්ජිම වට කරලා තිබුණු ලොකු බොනට්ටුවේ නිතර ලියල තිබුනා ..."ඔල්ටනේටරයක් සවි කර ඇත ,,සවි කල දිනය ...."..ඔන්න ඔහොම විස්තරයකුත් ..ගොඩක් දවස් වලට ඒ හරියේ දුම් පිට වෙනවා ..බස් එක ඉදිරි කන්නාඩි වල වැහි කටු තිබුනත් වැස්ස දවස් වලට වැඩ කරේ වැහි කටු වලින් එක වැහි කටුවක් විතරයි ..ඒත් බොහොම හෙමින් ..
Ks 11 (මහනුවර දකුණ 11)උනත් අපි නම් කිව්වේ
 (k ) කොටමින් (S ) සෙමින් 11 කියලයි
Ks 11 බස් එකේ ගමනාන්තය වෙද්දී හිරු රැස් දැඩි විදිහට පතිත වෙලා විතරක් නෙවේ ඉස්කෝලේ ගේට්ටුව ලග විනය පාලක තුමා ගැට පිරිච්ච වේවැලත් අතින් අරන් රැස් විහිදුවමින් ඉන්නවා ...

Friday, September 21, 2012

" ආරාධනා "


මන් ගොඩක්ම ආස කරන ගීතයක් අමරදේවයන්ගේ ආරාධනා ගීතය ..මේ ආරාධනා ඒ ආරාධනා නෙවෙයි ..පාසල් වියේ සමරු පොත් වගේම ජනප්‍රිය පොතක්
ආරාධනා පොත ..ඒ පොතේ තමන්ගේ නම ලියල ..තමන් කැමති නළුවා ..ගායකයා ..ගීතය ...අමතක නොවේනම දවස ..ඔය වගේ දේවල් තමා ලියන්න තිබුනේ ..
අපි ල ගත් එහෙම ආරාධනා පොතක් තිබුනා ..ඔය පොතේ එක තැනක තිබුනා .."ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය " කියල පිටුවකුත් ..සමහරු නම් ලියල තිබුනා ..
දවසක් මේ පොත පන්ති බාර මැඩම්ට අහු උනා නොවැ...මැඩම් ඊලග දවසේ තමා පොතේ නඩුව විභාග කරේ ..කට්ටිය ඔක්කොම නිස්සබ්දයි..මැඩම් පොත අරන් ...හයියෙන් කියවන්න පටන් ගත්ත ...
"ආ...මේ තියෙන්නේ මේ තියෙන්නේ පිටුව .."ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය .."එක එක්කෙනාගේ නම් කියවන ගමන් ලියල තියෙන දේවලුත් කියවන්න පටන් ගත්ත.
අප්පේ මෙන්න ........ට පෙම්වතියො 7 ලු අන්තන්පුරේ රජා ලු ...
....කියනවා තාම එකක් සෙට් උනේ නැතිලු ..සෙට් වෙච්ච ගමන් කියන්නම් ලු ..
...........කියනවා ..ට්‍රය් එකක් දීගෙන යනවලු
..............කියනවා බස් එකේ නියම කදක් ඉන්නවාලු ..පුල් ට්‍රය් බන්ලු
.............කියනවා ..තිබ්බ එක ඉවරයිලු ..අලුත් එකකට ට්‍ර්ය්ලු
..............කියනවා ..ලියුමක් දුන්න මචන්ලු ..
...............කියනවා ගෙදරින් අහන්න කිව්වනේ යකෝ ලු
............කියනවා කෑල්ල බෑ කිව්වා මචන්ලු
.............කියනවා මාර පාරක් ඉන්නවා බන්ලු ..
.........කියනවා සිරා එකක් බැහැල ඉන්නවාලු ..ඇහැ දෙනවා මචන්ලු ...වැටෙයි වගේලු ..වැටිච්ච ගමන් කියන්නම්ලු ..
...........කියනවා ..වැටෙන්න ඔන්න මෙන්න මචන්ලු
(මොනවද ළමයි මේ කැලි... මොනවද මේ පාරවල් //මොනවද මේ සිරා එකවල් ..මොනවද මේ වැටෙන්නේ කියල මැඩම් ඇහුවා ..පන්තියේ හිනා කෝටියයි )

Saturday, September 15, 2012

"කහපාට කමිසයක් -අම්මාගේ ගීතයක් "


කෑග ල්ල බස් නැවතුම්පල .වසර දහයකට පෙර දවසක වියපත් හවස් වරුවක ....සිදු වූ සිදුවීමක් ..ප්‍රදාන බස් නැවතුම්පලට එහා එක පැත්තක කොමර්සල් බැංකුව ..අනිත් පැත්තේ පොලිටෙක්ස් ගාර්මන්ට් එක ..මදක් ඉහලින් ඩිමන්ත දොස්තර මහත්තයාගේ බෙහෙත් සාප්පුව ..ඊට මෙහා සණස මොටෙල් එක ..ඊට ටිකක් එහායින් වික්‍රමසිංහ වලව්ව ...බස් නැවතුම්පොළ එදා හවස් වරුව කලබලකාරී උනත් බොහොම නිස්කලංක ගතියක් මවා පැව.බුලත්කොහුපිටිය /මීදෙනිය /හෙට්ටිමුල්ල /මොරොන්තොට බස් පේලියට නතර කරලා තිබුනා ..මමත් එක බස් රථයකට ගොඩ වැදුනා ..හරිම නිහැඩියාවක් ..මිනිස්සු හිටියත් ...හැමෝම තම තමන්ගේ ලෝක වල නිමග්න වෙලා හිටිය. අත දරුවෝ හිටියත් ඒ දරුවොත් කිරි සිහින තුල ගාල් වෙලා උන්න .ඉද හිට ඇහුනේ පහල මහා මාර්ගයේ යන වාහනයක සද්දයක් දෙකක් විතරමයි ...යාන්තමට විදුලි රැහැන් උඩ හැන්දෑව ගත කරන කපුටන්ගේ කෑ දර හඩත් ඇහුනා ..
මන් හිටිය බස් එකට එහා තිබුණු බස් එකට තරුණයෙක් නැගල සින්දුවක් කියන්න පටන් ගත්ත ..මුල් පේලි දෙක තුන කියද්දී මමත් විමසිලිමත් උනා ..
දෙවෙනි බුදුන් ලෙස -ලොවම උවම් කල -ලොවක පිදුම් ලද -ලොවට උතුම් ලද
අම්මා..........අම්මා ...................අම්මා
පුදුම තරම් රමණීය විදිහට ඔහු ගීතය ගැයුවා ...මන් හිතින් මගේ අම්මා ලග මොහොතක් රැදුනා ...නෙත් ලග කදුලක් මටත් හොරෙන් පැන නැග්ග ...
ස්වර පරාසය ..ඔහු කදිම විදිහට තීව්ර කරමින් හදවතටම "අම්මා"ලගට ගෙනත් තැබුවා ..ඒ මොහොතේ ඒ කටහඩ විතරමයි ...ඔහුගේ හඩේ ගීතවත්
සමාදියට මන් පුදුම විදිහට ලොබ බැන්ද..කලින් ගීතය ඇහිලා තිබුනත් එදා හැන්දෑවේ ඇහුනු එම ගීය මාව පුදුම විදිහට මගේ ආත්මයටම කතා කළා ..
හදුනන සුනිල් එදිරිසිංහගේ කට හඩට වඩා නොහදුනන එම තරුණයාගේ කටහඩ මාව පුදුම විදිහට වික්ෂිප්ත කළා ..
මන් විදුරු කවුළුවෙන් බලන් හිටිය ඔහු දිහා ..ලා කහ පාට අත් කොට කමිසයක් ඇදන් හිටියේ ..ගීතය අවසානයේ ඔහු බොහොම අවිහිංසක විදිහට ඒ බස් එකේ
හිටිය අය ගාවට ගිහින් යම් මුදලක් අපේක්ෂා කළා ..සමහරු දුන්නා...නොදුන් අයටත් ඔහු බොහොම අවිහිංසක සිනහවක් පැවා..මමත් මුදල් නෝට්ටුවක් අරන් ඔහු අපේ බස් එකට එනතුරු හිටියා ඒ තරම් ඔහු දක්ෂයෙක් .....විනාඩි කීපයක් ගියත් ඔහු ආවේ නෑ..මන් බස් එකෙන් බැස්ස ..සල්ලි දීල එන්න ..වට පිට බැලුවත් ඒ තරුණයා හිටියේ නෑ ..වෙන බස් දිහා බැලුවත් ඔහු හිටියේ නෑ ..අවාසනාවකට අපේ බස් එක ගමන් ආරම්භ කරා ..මට එන්න උනා ..ඊලග දවසෙත් ඒ වෙලාවටම මන් ගියත් ඒ අවිහිංසක තරුණයා හිටියේ නෑ ...ආයේ කවමදාවත් දැක්කේ නෑ ..අද වෙනතුරුම ..එත් මන් කෑගල්ල බස් නැවතුම දකිද්දී ..කහ පාට කමිසයක් දකිද්දී තාමත් ටිකක් විමසිලිමත් ....
දෙවැනි බුදුන් ලෙස ...ගීතය ඇහෙද්දී සියුම්ව මට ඒ තරුණයාගේ හඩ අදටත් යාන්තමට වගේ ඇහෙනවා .

Saturday, September 8, 2012

" චාලි සුවඳ ඇත තවමත් හද පතුලේ "



සොදුරු පාසල් විය ...අන්තිම පීරියඩ් එක කියන්නේ හරිම නොසන්සුන් කලබලය පිරුණු කෑ කෝ ගැසීම් වලින් ගහන සුන්දර විනාඩි හතලිස් පහක් ..ගොඩක් වෙලාවට ඕෆ් පීරියඩ් එකක් ..
ඉලන්දාරි කොලු ගැටවුන්ට කියාපු පීරියඩ් එක ..පිටත් වෙන්න ඔන්න මෙන්න හෝරාව ..සුදු දිග කලිසම් වලට සුදු අත් කොට ..සුදු අත් දිග කමිස යට වෙන
වෙලාව... සීරුවට පිටිපස්සෙන් කමිසේ ටිකක් උස් කරලා බැගී දානවා ..ඉස්සරහින් ගානට යටකරල දෙපැත්තෙන් හීනියට පොඩි බැගී පාරක් දානවා ..ඒ දවස් වල
මුනත් තහඩු බලන්න කට්ටිය කන්නාඩි කෑලිත් අරන් එනවා ..කුඩා විශාල එක එක වර්ගයේ කන්නාඩි උස්සන් එනවා ..මට මතකයි අපේ යාලුවෙක් උස්සන් ආව ගෙදර තිබුණු ලොකු භාග කන්නාඩි යකුත් ..ඒක ලොකු අච්චු පොතක් වගේ ..ගොඩක් වෙලාවට බිත්තියට හේත්තු කරලා මුහුණ බලන්න කට්ටිය පෝලිම් ගැහෙනවා ..ඒ කන්නාඩිය ට වැඩි ආයුෂ තිබුනේ නෑ.. අපි එක්ක ඉන්න ..දවසක් අපේ ප්‍රදාන ශිෂ්‍ය නායකයා ට ඕක අහු උනා ..කිසිම ප්‍රශ්ණ කිරිල්ලක් නැතුව අරන් ගියා ගියාමයි
ඊට පස්සේ මොනවා උනාද කියන්න අදටත් දන්නේ නෑ.. ඒ දවස් වල අසේල අයිය තම ප්‍රදාන ශිෂ්‍ය නායක (ජනප්‍රිය නිවේදක අසේල බණ්ඩාරනායක )ඒ කන්නාඩිය නැති උනත් පුංචි පුංචි කන්නාඩි බබාලා ඩෙස් යට හැංගි හොරා විසුවා ..ඔය අතර ක්‍රිම් වර්ග පව්ඩර් වර්ගත් හොර හොරෙන් සැරි සැරුව ,,වූඩු...බ්ලැක් නයිට් ...ගෝල්ඩ් ආදී ජනප්‍රිය ඒවා ..සමහරු පව්ඩර් සර්ට් එක යටට දමාගන්නව ..සමහරු කමිසේ සාක්කුවට දාගන්නවා ..මුහුණට දාගන්න කෙනා සහ සාක්කුවට දාගන්න කෙනා අතර වචන හුවමරුත් වෙනවා ..එතනින් නතර වෙන්නේ නෑ ..හොදම ටික කොණ්ඩෙට ..ජෙලි වර්ග හෙයාර් ක්‍රිම් ගොඩක් අය අතේ ගැවසුනා ..ජෙලි ගාල ක්‍රිම් ගාල සමහරු කොන්ඩේ පැත්තට පිරනවා..තවත් අය මැදින් රොද දාල පිරනවා ..කට්ටියක් කොන්ඩේ කඩා හැලෙන්න ක්‍රිම් තවරනවා.. වතුරත් ටිකක් මිශ්‍ර කරනවා ..වයිවාරන පනා වර්ගත් තිබුන ..එක්කෙනෙක් ගාව ලොකු හයේ හතරේ පනාවක් තිබුනා.. ගොඩක්ම ජනප්‍රිය පුංචි රවුම් හැඩේ ගත්ත අතේ ඇගිල්ලක් ඇතුලට දාලා පිරන්න හැකියාව තිබුණු දැති දැති තිබුණු කළු පාට පනාව .හැමෝ ගාවම වගේ ඒ පනාවක් සාක්කුවේ තිබුන ..කොන්ඩෙ හදන්
ඉවර උනාම කෙලි කවට කම් මහා ගොඩයි .අන්තිම සීනුව වදින තුරු ..සමහරු උඩට ලස්සනට පිරපු කොන්ඩේ බම්ප් එක කියල අතින් අවුස්සලා දුවනවා .ඉතින් රණ්ඩු වැහි වහිනවා ඔය අතරේ ..
කොන්ඩෙන් නතර වෙන්නෙත් නෑ .මගේ ලග හිටිය යාළුවා ගව තිබුන චාලී සුවඳ විලවුන් බෝතලයක් ..ඔය සෙන්ට් එකත් අපි ඇග පුරා හලා ගන්නවා ..අයෙක් කමිසේ කලර් එකට යටින් ..තව කෙනෙක් අත් දෙකට ..සමහරු බෙල්ලට හලාගද්දී.. තවත් අය පපුවට හලා ගන්නවා ..චාලී අංක එක.එක දවසක් පන්ති බාර මැඩම්ට
අහු උනා .මැඩම් අහක බලා ගනිද්දී හොරෙන් සෙන්ට් එක ප්‍රෙස් කරනවා ..ශුස් ගාන සද්දෙට මැඩම් ඇහුව ළමයි මොනවද ඒ සද්දේ කියල ..කව්රුත් කතා නෑ..ආයෙත් ශුස් ශුස් ගැව ..මැඩම් නැගිට්ට. මොනවද ළමයි ඒ සද්දේ කිය කියා ටිකක් එහෙ මෙහෙ සැරි සැරුව ..එක පාරම "අප්පේ මල් සුවද ..කාගේද සෙන්ට් එක කියල බැග් චෙක් කරන්න පටන් ගත්ත ..අපේ කට්ටිය අපේ චාලී මල්ලිව අතින් අත යවල කොහොම හරි බේර ගත්ත ..නමුත් වෙන යාලුවෙක් ගාව තිබුණු වූඩු සෙන්ට් එකක් අතටම අහු උනා..මැඩම් මල් සුවඳ නැති වෙන්නම බැනල සෙන්ට් එක අරගත්තා .අයේ ඒක ලැබුනේ නෑ.පස්සේ දවසක ආරංචියක් ආවා.. අපේ යාලුවෙක්ගෙ නංගී කෙනෙක් මැඩම් ගේ දුව එක්ක එක පන්තියේ හිටියේ .ලගදි ඉඳල මැඩම් ගේ දුව ගාව වූඩු සුවඳ එනවා කියල ඒ නංගී අපේ යාලුවට කියල තිබුන ..
කොහොමින් කොහොම හරි අන්තිම පීරියඩ් එක ඉවරවෙලා චාලි සුවඳත් එක්කම දුවනවා ..කට්ටියම බස් එකට ..මහමායාවියෝ /ස්වර්නමාලියෝ /හේමමාලියෝ/පුෂ්පදානියෝ
/විහාර මහා දේවියෝ /උසස් බාලිකාවියෝ /යහපත් එඩේරියෝ /ගෝතමියෝ වගේම හිල්වු ඩිස් ලා අතරත් ගැවසුනා අපේ ලගන්න සුළු චාලි සුවඳ
ඒ කොහොම වෙතත් බස් එකේ තෙරපිලා හිරවෙලා ..දොරේ එල්ලිලා .හවස හතරට පහට ගෙදර එද්දී චාලි සුවද ලෑලි සුවදක් බවටත් පත් උනා සමහර දාට
කොහොම උනත්
චාලි අපි ට සැහෙන කාලයක් සුවඳ සැලුවා ..!
ඒ චාලි සුවඳ තාමත් ආදරණීය සුවඳ මතකයක් ............!

Tuesday, September 4, 2012

"කමින් ස්වීට්"

කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි සිංහල සිනමා වංශ කතාවේ ..මේ තාක් දුර සිනහවෙන් සපිරුණු උපහාසාත්මක චිත්‍රපට දෙකයි මට අනුව තියෙන්නේ .
ඉන් එකක් අල්ලපු ගෙදර ..අනිත් චිත්‍රපටය

                      කමින් ස්වීට් හෙවත් කොළඹ සන්නිය ..  
  


ජෝ අබේවික්‍රම .;දෙනවක හාමිනේ;ගීතා කුමාරසිංහ ;දොන් සිරිසේන ;එඩි ජයමාන්න ආදී නළු නිලියන් රැසක් චරිත නිරුපනය කරන කොලබ සන්නිය ගිනිගත් සිතක් සිනහවෙන් සුවපත් කරන විශිෂ්ට ගනයේ විකට චිත්‍රපටයක් ..මේ චිත්‍රපටයේ කතා ප්‍රබන්ධයේ ප්‍රදාන චරිතය "අන්දරේ "ඔහු ග්‍රාමීය වටපිටාවේ හැදී වැඩුණු මෝඩ පහේ පුද්ගලයෙක් ...කතාව ගලාගෙන යන්නේ ..අන්දරේට හදිසියේ මැණිකක් ලැබී ඔහු සිය පවුලම කොලබ පදිංචියට රැගෙන යාමත් ..එහිදී ඔවුන් මුහුණ දෙන ..නුහුරු නාගරික වට පිටාව සහ බටහිර සිරිත් විරිත් වලට මුහුණ දීමේදී ඇතිවෙන අසීරුතා ඉතා කදිමට උතප්‍රාසත්මකව සිනමාවට ගොඩ නගා ඇත .එහිදී මගේ සිත ගත්ත සිනහ ඔඩු දුවන තැන් කීපයක් තිබේ ..මුලින්ම අන්දරේ ඇතුළු සියලු දෙනා  කොළඹ යන අතර තුර වාහනය වතුර නැති වීමෙන් නැවතී .අවසානයේ වතුර වෙනුවට වෙන ඉන්දනයක් යොදා හරි අපුරු විදිහට ගමන් කරයි ..නිවසේ දුරකථනය පවා නාද වීමේදී ඔවුන් බිය වී සැගවීමට තැන් සොයන්නේ හරිම උපහාසයක් ගෙන දෙමින් ..අන්දරේ රෙදි සේදීම සදහා යොදා ගන්නේ හරි අපුරු උපකරණයක් ...ඒ මොකක්ද කියල බලන්න නම් කොලබ සන්නිය බලන්නම ඕනේ ..ඒ වගේම අසල්වැසි විදේශීය කාන්තාවකට වට්ටක්ක ගෙඩියක් තෑගි කර යවන්නට යොදාගන්නේ කොළ වෙනුවට අමුතුම දෙයක් ...පවුලේ සියලුම දෙනා එක් වී ළිදක් කපා..උල්පත මතු වූ විට සතුටු වෙන ආකාරය සිනා සාගරයක් මවන්නක් .....කමින් ස්වීට් වචනය අසා අන්දරේ සහ ජාකෝලිස් නටන නැටුම ඉහලින්ම සිනා ගන්වන්නක් ..තව සිදුවීම් රාශියකි ..
මෙහි අන්දරේ ලෙස ප්‍රදාන චරිතයට පන පොවන ජෝ අබේවික්‍රමයන්ගේ අද්වීතිය රංග ප්‍රතිභාව මට කිසි ලෙසකින්වත් අමතක නොවෙන්නක්..ඔහු රග පෑ විශිෂ්ට සිනමා කෘති වුනු සිරි බෝ අයියා, තුන්මන් හන්දිය ,අල්ලපු ගෙදර ,පුර සද කළුවර ආදී චිත්‍රපටත් මට මේ වෙලාවේ මතක් වෙනවා ..මේ චිත්‍රපටයේ ජෝ වගේම අනෙකුත් නළු නිලි කැලද ඉතා විශිෂ්ඨ ආකාරයෙන් චරිත නිරුපනය කරනවා ..මන් මේ චිත්‍රපටය දහ දොළොස් වතාවක්ම බැලුවා ..ඒත් එපා වීමක් නෑ..
හිනා යන එකේ අඩුවකුත් නෑ ..ක් ලැරන්ස්ගේ නිතර නො ඇසෙන ගීතයකුත් අඩංගුයි .."නෙලුම් පොකුරු වාගේ දෙතොල රතු වෙලා "..හරිම ලස්සන ගීතයක්.
ඉතින්  කොළඹ සන්නිය සිනා ගගුලක්
අන්දරේගේ ගෙදර ඉංග්‍රීසි උගන්වන්න එන කෙනාගේ නම ...නිර්වස්තර මහත්තයා.
නිර්වස්තර මහත්තයාගේ නම එහෙම උනාට ඔහු ඉතාමත් හොදට බටහිර විදිහට හැද පැලද සිටින කෙනෙක්

Sunday, September 2, 2012

"ඉංග්‍රීසි පුසා "


මේ අමුතු පුසෙක්ද ...නෑ මේත් පුසෙක් ,,,,හැබැයි ඉංග්‍රීසි පුසෙක් ..ඒ දවස් වල සුන්දරම පාසල් කාලේ..ඉංග්‍රීසි පීරියඩ් එක අපි හැමෝටම තිත්ත බෙහෙත් වගේ ..
හැමදාම කව්රු හරි කෙනෙක් මැඩම් එක්ක ජල්ලියක් අල්ලනවා ..දවසක් ඉංග්‍රීසි පීරියඩ් එක තිබුනේ උදේ දෙවැනි පීරියඩ් එක විදිහට ..පලවෙනි පීරියඩ් එක අපේ පන්ති භාර මැඩම් සමාජ අධ්‍යනය ..කලින් දවසෙම කිව්වා මැඩම් එන්නේ නෑ කියල ..උදේ අපේ යාලුවෙක් ගෙදරින් තවත් යාලුවෙක් එක්ක ඇවිත් තිබුනා ..
ගෙදර හිටිය පුසා බැග් එකේ දාගෙන ඇවිත් ...ඉංග්‍රීසි මැඩම් ව අවුස්සන්න ...පුස් සද්දේ දාලා ..ඉතින් අපිත් දෙවැනි පීරියඩ් එක එනතුරු පුසව බොහොම ආදරෙන්
ඔලුව අත ගාමින් කන්න බොන්න දෙමින් තියා ගත්ත ...පුසත් බොහොම අපුරුවට හිටියා.හැබැයි
දැගලුවේ නැතුවමත් නෙවේ ..කොහොමින් කොහොම හරි
ඉංග්‍රීසි පීරියඩ් එක පටන් ගත්ත ..මැඩම් සුපුරුදු විදිහට අවා ..පාඩමකුත් පටන් ගත්ත ...දැන් මෙහෙයුමට සියල්ල සුදානම් ...පුසා බැග් එකේ ...මුණ යන්තමට එළියේ ..
දැන් හෙමින් පුසව කොනිත්තන්නයි සුදානම ..එක පාරක් දෙපාරක් කරත් පුස්ස චාව්" ගාන්නේ
හෙමින් ..මැඩම් ට එච්චර ගානක් නෑ.හොර රහසේම පුස් බැග් එක වෙන යාලුවෙක්ගෙ අතකට හුව මාරු උනා ..ඒ හොදට පුසව කොනිත්තල ලොකු සද්දයක් ගන්න ..අර යාළුවා අරන් බැග් එක ඇතුලට අත දාල මුළු වෙර යොදා පුසගේ නැට්ටෙන්ම ඇල්ලුවා ..පුසා චාව් සද්දේ දාලා එලියට පැනල ඩෙස් උඩින් මැඩම් ගේ මේසෙ උඩට පැන්නා ...මැඩම් කෑ ගැහුව සද්දේ මට තවත් දෝංකාර දෙනවා වගේ ..පුසා උඩ පැනල කෑ ගහල ..එලියටම දිව්වා ...මැඩම් ඇහුව කාගේද පුසා කියල ..ඔක්කොම නිහඩයි ..එදා අපි ඔක්කොම පුස් වේවැල් කසාය හොදටම ලැබුවා ..අපි දවල් වෙලා පුසව හෙව්වා ..එත් පුසා හොයාගන්න බැරි උනා ..ඒ පුසා අර එවරෙඩි බැටරි පුසා වගේ කළුම කලුයි ...මැඩම් වැඩි පුරාම කෑ ගැහුවෙත් ඒකයි...එයින් පස්සේ අපිට කවදාවත් ඉංග්‍රීසි පුසා දකින්න ලැබුනේ නෑ ..

" ජේ .බි. බණ්ඩාර යා "





 

දැන් හැමෝම බලයි කවුද මේ ජේ .බි බණ්ඩාර යා කියල ..මහාචාර්ය ජේ.බි .දිසානායක නම් දන්නවා උනත් මේ ජේ.බි බණ්ඩාර යා කවුද ? ..මන් ටික කාලයකට කලින් මැලේසියාවේ සේවය කරා..හරිම ලස්සන රටක් ..ජාතිකත්ව තුනක් නියෝජනය වෙන රටක් ..මැලේ ජාතිකයින්
වගේම ..ඉන්දියන් සහ චීන ජතිකයිනුත් වැඩි දෙනෙක් ඉන්නවා ..බොහොම සාමකාමී සහජීවන රටක් ...මහා මාර්ග ලෝකයේ හොදම තත්වයේ
තියෙන රටක් ..මන් හිටියේ ක්ලුඅන්ග් ප්‍රදේශයේ ...බොහොම සාරවත් ප්‍රදේශයක් ..මැලේසියාවේ දකුණු කොටස...මන් හිටිය පැත්තේ ප්‍රදාන නගරය
උනේ ජේ.බි ..ජේ.බි ..එහෙමත් නැත්නම් ජොහොර් බහරු ..



එහෙ ගොඩක් අය ජොහොර් බහරු යද්දී කියන්නේ ජේ.බි යනවා කියලයි ..අගනුවර
ක්වාලාලම්පුර් යද්දී කියන්නේ කේ .එල් .යනවා කියලයි ..
ජොහොර් බහරු එහෙමත් නැත්නම් ජේ.බි ..නගරය මැලේසියාවේ ලොකුම දෙවන නගරය ..කර්මාන්ත වෙළද සහ ජනාකීර්ණ නගරයක් උනත් හරිම දැකුම්කළුයි..සිත් අලවන සුළුයි .. ස්වභාවිකත්වය අතින් ඉහලයි...
ලෝකයේ ඉහලම පන්නයේ නවීනතම හෝටල් සංකීර්ණ වගේම ආපන ශාලා විශාල වශයෙන් පිහිටලා තියෙනවා .සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන නගරයක් ...ඩෙන්ග බේ කියන්නේ ජේ.බි වල පිහිටි සුපිරිතම විනෝද උද්‍යානයක් ..මැලේසියාවේ වසන්ත සමයට ඩෙන්ග බේ මිනිස් හිස් ගොඩවල් වලින්
පිරිලා ඉතිරිලා යනවා ..

ඩෙන්ග බේ වසන්ත සැණකෙළිය ආස්වාදනීය මනරම් සැණකෙළියක් ..මැලේසියාවේ සුපිරිම ගී තරු බැබලෙන දිවා රාත්‍රී සංගීත
සංදර්ශන ...ඉදිකටුවේ සිට සුපිරිම භාණ්ඩ ඉතාමත් අඩු මිලට මිලදී ගන්න පුළුවන් ..විවිද ප්‍රදර්ශන කුටි ..විනෝද අංගන වලින් ගහන මනෝ රම්‍ය සැණකෙළියක් .


ඩෙන්ග බේ

ජේ.බි මැලේසියාවේ දකුණු කොටසේ අවසන් නගරය ..ඉන් එහා පැත්තේ සිංගප්පුරුව පිහිටලා තියෙන්නේ .. සිංගප්පුරුවේ අය මැලේසියාවටත් මැලේසියාවේ අය සිංගප්පුරුවටත් යන්නේ ඩෙන්ග බේ හරහා පිහිටි පුංචි පාලමකින් ...ගමන සදහා වැය වෙන කාලය විනාඩි 10 යි .රටවල් දෙක
වෙන්වෙන්නේ මුහුදේම පුංචි පටු දිය පාරකින් ..මීටර 500ක් වත් නෑ දුර .. ඩෙන්ග බේ මුහුදු වැලි තීරුවේ ඉඳල සිංගප්පුරුව අත පොවන මායිමේ ..දර්ශනය වෙනවා.හරිම සුන්දර දර්ශනයක් ..වසන්තයේ හැන්දෑවක හිරු කිනිති ඇස පියන සොදුරු මොහොතක ජේ.බි ඩෙන්ග බේ පටු සයුරු මායිමේ ඉඳන් සින්ගප්පුර්ව දිහා බලන් හිටිය හැටි තාමත් මතකයි ...........
දැන් ප්‍රස්නයක් ජේ.බි ..හරි ...එතකොට ජේ.බි .බණ්ඩාර යා ඒ කවුද.? කියල ..
මැලේ බාෂාවෙන් බණ්ඩාර යා කියන්නේ නගරයට ...